sri-lanka-is-at-risk-of-becoming-an-international-online-gambling-hub

මියන්මාරය සහ කාම්බෝජය වැනි රාජ්‍යයන් පවා අභිබවා යමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ නීති විරෝධී ඔන්ලයින් සූදු මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බරපතළ අවදානමකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් මෑතකදී සභාව හමුවේ මෙම තොරතුරු අනාවරණය කරනු ලැබීය.




වත්මන් සමාජය තුළ, විශේෂයෙන්ම මෙරට තරුණ පරපුර සහ දරුවන් අතර මෙම ඔන්ලයින් සූදු ක්‍රීඩා අතිශයින්ම ප්‍රචලිත වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, තමන්ගේ පුද්ගලික ජංගම දුරකථනය ආධාරයෙන් එම සූදු වෙබ් අඩවි සහ යෙදවුම් වෙත ප්‍රායෝගිකව පිවිසෙන ආකාරය ද පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම පෙන්වා දීමට පියවර ගත්තේය.

මෙම නීති විරෝධී සූදු කටයුතුවල නිරත වන්නන් සඳහා මුදල් ගෙවීමට විවිධ ක්‍රමවේද 40කට වඩා වැඩි ප්‍රමාණයක් සක්‍රීයව පවතින බව මෙහිදී හෙළි විය. එමෙන්ම ‘නිකෙයි’ නමැති ප්‍රකට ජපන් පුවත්පත මගින් පවා ශ්‍රී ලංකාව ප්‍රධාන පෙළේ සූදු මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබීම මුළු මහත් රටටම දැඩි ලැජ්ජාවක් ගෙන දෙන තත්ත්වයක් බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.




දැනට ක්‍රියාත්මක වන කැසිනෝ නියාමන නීති මගින් මෙම ඔන්ලයින් සූදු ජාලයන් පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ ඒවායින් බහුතරයක් මෙරටින් බැහැර විදේශීය රටවල ලියාපදිංචි කර තිබීම හේතුවෙනි. මෙම අදාළ සමාගම් නීත්‍යානුකූලව ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කළහොත් පමණක් ඒවා නියාමනය කිරීමේ අවස්ථාව උදාවන බව පෙන්වා දෙන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මගින් මෙවසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රශ්න 18ක් යොමු කරමින් විමසීම් කළ ද, ඒ සඳහා මෙතෙක් කිසිදු සතුටුදායක පිළිතුරක් ලැබී නොමැති බව ද සනාථ කළේය.

සූදු නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මෙම වසරේ නොවැම්බර් මාසය වන විට ඊට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරන බවට මීට පෙර කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණ ද, එම නීතිමය රෙගුලාසි මෙතෙක් අවසන් අදියරට පැමිණ නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙයි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීම සඳහා යෝජනා කර ඇති පනත් කෙටුම්පත් රටට අත්‍යවශ්‍ය වන අතරම, නීති විරෝධී සූදු සමාගම් පවතින නීති පද්ධතියේ ඇති සිදුරු උපයෝගී කරගනිමින් රිංගා යාම වැළැක්වීමට කඩිනම් පියවර ගැනීම අනිවාර්ය බව ද අදාළ අනාවරණය මගින් තවදුරටත් අවධාරණය කෙරේ.