ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයෙකු වන යුපුන් අබේකෝන් සිය මලල ක්‍රීඩා දිවියට සමුදීමට හදිසි තීරණයක් ගෙන ඇති බව නිවේදනය කර තිබේ. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම හරහා විශේෂ සටහනක් එක් කරමින් මෙම අනපේක්ෂිත තීරණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර තවදුරටත් ක්‍රීඩා නියැලීමට කාලයක් ඉතිරිව තිබියදීත් මෙවැනි තීරණයක් ගැනීමට සිදුවීම පහසු එකක් නොවූ බව ඔහු පවසා ඇත.
සිය සමුගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඔහු සඳහන් කරන්නේ, "ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු," යනුවෙනි.
තම ක්‍රීඩා දිවිය පුරාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සියලු දෙනාටම කෘතවේදීත්වය පළ කරමින් මෙන්ම මෙම තීරණය පිළිබඳව හැඟීම්බරව යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.
"රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි!
"දකුණු ආසියාවේ වේගවත් ම ධාවකයා කියන්නෙ මගේ ජයග්‍රහණයක් නෙවෙයි, අපේ ජයග්‍රහණයක් කියලා මං තේරුම්ගත්තෙ Sub 10 එක දුවපු දවසෙන් පස්සෙ. ඒ වෙනකල් මං හිතාගෙන හිටියේ ඒක මගේ කර ගන්න ඕනෙ දිනුමක් කියලා. කොල්ලෙක් තමන්ගේ ගෙදරට/පවුලට අයිති වෙලා ඉඳලා මුළු රටකට ම අයිති වෙනවා කියන්නෙ මහා පුදුමාකාර විරල අත්දැකීමක්. තිබූ තැනකින් සොර සතුරන්ට ගන්නට බැරි දිනුමක්. මුලින් ම ඒ අත්දැකීම මට දුන්නට, මං මේ ජීවිතයට සහ මගේ රට දැයට මං මගේ කෘතඥතාව දක්වනවා.
"ඔබ හැම දෙනා ම කවදාවත් සාමාන්‍ය රසිකයෝ හෝ සහයෝගය දක්වන්නන් විතරක් වුණේ නෑ, ඔබ සියලු දෙනා මගේ පවුල වුණා. මේ ගමන පුරාවට ම මම ඇත්තට ම ලබා ගත්තෙත් ඒ ආදරයි ශක්තියයි විතරයි. මගේ තරග නරඹන්න නිදිමරාගෙන උන්න, පහන් පත්තු කරපු, යාච්ඤා කරපු හැම දෙනාට ම ගොඩක් ආදරෙයි. ඒ හැම දේ ම මට විශාල ශක්තියක් වුණ බව මං මතක් කරන්න කැමතියි. මං මට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරන්නත්, ඔයාලාගේ විශ්වාසය මිල මුදල් ඉදිරියේ පාවා නොදී රකින්නත්, ඔයාලගේ ගෞරවයට කැළලක් නොකර විනයවත්ව හැසිරෙන්නත් වග බලාගැනීම මං ඔයාලට ඉටු කළ යුතුකමයි.
"ඉතින් මගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන අද දවසේ මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මුලින් ම මාව මේ ලෝකෙට ගෙනැවිත් මට ජීවිතය දුන්න දෙමව්පියන්ට ස්තූතිවන්ත වෙනවා, මං ගැන මෙච්චර ආඩම්බර වෙනකොට මට හරි ම සතුටක් දැනෙනවා. මගේ පවුලේ අයට සහ මගේ යාළුවන්ට ස්තූතිවන්ත වෙනවා මට ලොකු හයියක් උණාට, ඒ වගේ ම මගේ පාසල් දෙකට ම මට ක්‍රීඩාව හඳුන්වලා දුන්නාට. මාව ක්‍රීඩාවට හඳුන්වලා දුන්නාට මගේ සියලු ම පුහුණුකරුවන් සහ ඉතාලියේ මගේ කණ්ඩායමට ස්තූතියි. ඒ අය නොහිටින්න මගේ ගමන මේ තරම් දුරක් නොපැමිණෙන්න තිබුණා."