sister-nago-demanded-10-lakhs-from-the-businessman

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකුගේ උපදෙස් මත කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. පසුගිය සිකුරාදා (03) මෙම නියෝගය නිකුත් කෙරුණු අතර, මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි සහෝදරියන් දෙදෙනෙකි.




සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් කුලසිංහ මහතා (10789) අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, බන්ධනාගාරයේ සිටින අපරාධකරු විසින් ජංගම දුරකථන මාර්ගයෙන් අදාළ ව්‍යාපාරිකයාට බැන තර්ජනය සිදුකරමින් මෙම කප්පම් මුදල ඉල්ලා ඇති බවයි. ව්‍යාපාරිකයා විසින් මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගෙන් ලබාගත් කප්පම් මුදල් පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බැංකු ගිණුමකට බැර වී ඇති බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ කාන්තාව සහ ඇයට මෙම ජාවාරම සඳහා අනුබල දුන් ඇගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇත. බන්ධනාගාරයේ සිටින "ඇඹිලිපිටියේ රුවන්" නැමැත්තාගේ අනුදැනුම මත විවිධ පුද්ගලයන් හරහා තම ගිණුමට මෙම මුදල් ලැබුණු බවත්, එම මුදල් ලබාගෙන ඔහුගේ නඩු කටයුතු සඳහා ඇප තැබීමට සහ ඔහුගේ උපදෙස් පරිදි වෙනත් ගිණුම්වලට මුදල් හුවමාරු කිරීමට තමන් කටයුතු කළ බවත් සැකකාරිය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබේ.




පොලිසිය පවසන පරිදි මෙම කප්පම් ඉල්ලීමට සම්බන්ධ "ඇඹිලිපිටියේ රුවන්" නමැත්තා දිවයිනේ ලියාපදිංචි දරුණු ගණයේ අපරාධකරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අතර, ඔහු බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රාජකාරි කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. පසුගිය ජුනි 30 වැනිදා ප්‍රධාන සැකකාරිය විසින් අදාළ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ පහයි අසූදහසක මුදලක් ලබාගෙන, ඉන් රුපියල් හතරලක්ෂ අසූදහසක් ඇගේ සහෝදරියට ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. මේ සඳහා භාවිත කළ ජංගම දුරකථනය සහ එම මුදල්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.