
ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හඳුනාගත් බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු කළුතර උතුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මාරවිල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක මෙලෙස අපයෝජනයට ලක්ව ඇති අතර, සැකකාර තරුණයාගේ නිවසේ රැඳී සිටි දැරිය ද පොලිස් භාරයට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ පොලිස් භාරයට ගත් දැරිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මාරවිල මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මාරවිල ප්‍රදේශයේ විද්‍යාලයක අධ්‍යාපනය ලබන මෙම සිසුවිය ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි අදාළ තරුණයා හඳුනාගෙන ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි. පසුව දැරියගෙන් ලැබුණු ආරාධනයකට අනුව සැකකාර තරුණයා මාරවිල පිහිටි ඇයගේ නිවස වෙත ගොස් ඇති අතර, එහි නතර වී සිටින අතරතුරදී ඔහු විසින් දැරිය ප්‍රථම වරට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇත.
ඉන් අනතුරුව, මෙම බාලවයස්කාර දැරිය සිය පෙම්වතා සමඟ කළුතර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණ තිබේ. මේ පිළිබඳව කළුතර උතුර පොලිස් ස්ථානය වෙත ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන දැරියද සිය භාරයට ගෙන ඇත. බරපතළ ලිංගික අපයෝජනයකට සහ දූෂණයකට ලක්ව ඇති බව කියන මෙම පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.