sir-garfield-sobers-dies-at-89

ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (ගාෆීල්ඩ් සෙන්ට් ඔබ්‍රන් සෝබර්ස්) වසර 89ක් ආයු වළඳා 2026 ජූලි 17 වැනිදා අභාවප්‍රාප්ත විය. බාබඩෝස් හි ශාන්ත මයිකල් කලාපයට අයත් හයිගේට් ගාඩ්න්ස් හි පිහිටි සිය නිවසේදී ඔහු සාමකාමීව අවසන් හුස්ම හෙළා ඇත.

ඔහුගේ අභාවයත් සමඟින් ක්‍රිකට් ලෝකය පුරා ශෝක පණිවිඩ ගලා එන්නට වූ අතර, "විශිෂ්ට ඉනිමක් නිමාවට පත්විය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දැන් සහ සදහටම අපගේ හදවත් තුළ ජීවත් වනු ඇත" යනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සිය ශෝකය ප්‍රකාශ කර තිබුණි.




1936 ජූලි 28 වැනිදා බාබඩෝස් හි බ්‍රිජ්ටවුන් හි බේ ලෑන්ඩ් ප්‍රදේශයේදී උපත ලැබූ ඔහු ෂමොන්ට් සහ තෙල්මා සෝබර්ස් යුවළගේ දරුවන් හයදෙනාගෙන් පස්වැන්නා විය. වෙළඳ නැවියෙකු වූ ඔහුගේ පියා 1942 වසරේදී එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් නැවක් විනාශ වීම හේතුවෙන් මිය යන විට ගාෆීල්ඩ් කුඩා දරුවෙකි. උපතේදී ඔහුගේ අත් දෙකෙහිම වැඩිපුර ඇඟිලි පිහිටා තිබූ අතර, වාර්තා වන අන්දමට කුඩා කාලයේදී ඔහු විසින්ම ඒවා කපා ඉවත් කරගෙන ඇත. ළමා වියේ සිටම ක්‍රිකට්, පාපන්දු සහ පැසිපන්දු වැනි ක්‍රීඩා රැසකට සුවිශේෂී දක්ෂතා දැක්වූ ඔහු සිය ක්‍රීඩා කෞශල්‍යය මනාව ප්‍රදර්ශනය කරමින් වයස අවුරුදු 16 දී පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය.

1954 සිට 1974 දක්වා විහිදුණු සිය අති සාර්ථක ක්‍රිකට් දිවියේදී, වයස අවුරුදු 17 දී එංගලන්තයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය. ටෙස්ට් තරග 93කට සහභාගී වූ ඔහු ඉන් තරග 39කදී කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය. විශිෂ්ට පිතිකරුවෙකු වූ සෝබර්ස් සාමාන්‍ය 57.78ක් රඳවා ගනිමින් ශතක 26ක් සහ අර්ධ ශතක 30ක් සමඟින් ලකුණු 8,032ක් රැස් කිරීමට සමත් විය. 1957-58 වසරේදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 365 ඔහුගේ ඉහළම ටෙස්ට් ඉනිම වූ අතර, එය බ්‍රයන් ලාරා විසින් බිඳ හෙළන තෙක් වසර 36කට ආසන්න කාලයක් ලෝක වාර්තාවක් ලෙස නොනැසී පැවතුණි. දක්ෂ පන්දු යවන්නෙකු ලෙසද පෙරළිකාර දස්කම් දැක්වූ ඔහු වම් පන්දුවෙන් වේග පන්දු, සාම්ප්‍රදායික දඟ පන්දු සහ චයිනමන් යන විවිධ ඉරියව්වලින් පන්දු යවමින් ලකුණු 34.03ක සාමාන්‍යයක් යටතේ ටෙස්ට් කඩුලු 235ක් දවා ගත් අතර, කඩුල්ලට ආසන්නයේ පන්දු රකින්නෙකු ලෙස උඩපන්දු 109ක් ද සිය ගිණුමට එක් කරගත්තේය. ඔහුගේ සමස්ත පළමු පෙළ ක්‍රිකට් දිවිය තුළ ලකුණු 28,000කට වඩා රැස් කර ඇති අතර කඩුලු 1,000කට වැඩි ප්‍රමාණයක් දවාගෙන ඇත.




සෝබර්ස්ගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සුවිශේෂීම අවස්ථාව සටහන් වන්නේ 1968 අගෝස්තු 31 වැනිදාය. ඒ ග්ලැමෝගන් කණ්ඩායමට එරෙහිව ස්වෝන්සී හිදී නොටින්හැම්ෂයර් කණ්ඩායම නියෝජනය කරමින් මැල්කම් නෑෂ්ගේ එක් ඕවරයක පන්දු හයටම පිට පිටම හයේ පහර හයක් එල්ල කිරීමෙනි. එය පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත විය. බාබඩෝස්, දකුණු ඕස්ට්‍රේලියාව සහ නොටින්හැම්ෂයර් යන කණ්ඩායම් නියෝජනය කළ ඔහු, 1966 දී එංගලන්තයට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඇතුළුව කැපී පෙනෙන තරගාවලි ජයග්‍රහණ රැසක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවීමට පුරෝගාමී විය.

ක්‍රීඩාවට කළ අමිල මෙහෙවර අගයමින් 1975 වසරේදී දෙවන එලිසබෙත් රැජින විසින් ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කරන ලද අතර, 1998 දී "The Right Excellent Sir Garfield Sobers" යන ගෞරව නාමය සමඟින් ඔහු බාබඩෝස් හි ජාතික වීරයෙකු ලෙස නම් කෙරිණි. 1964 වසරේ විස්ඩන් වසරේ ක්‍රීඩකයා ලෙසත්, 2000 වසරේදී සියවසේ විශිෂ්ටතම විස්ඩන් ක්‍රීඩකයින්ගෙන් කෙනෙකු ලෙසත් ගෞරවයට පාත්‍ර වූ ඔහු 2009 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමරු ඵලකයට (ICC Hall of Fame) ද ඇතුළත් විය. ප්‍රුඩන්ස් කර්බි සමඟ විවාහ වී මැතිව් සහ ඩැනියෙල් යන පුතුන් දෙදෙනාගේ සහ ජෙනිවිව් නම් හදාගත් දියණියගේ පියෙකු වූ ඔහුගේ පසුකාලීන සහකාරිය වූ ජැකී වයිට් 2025 වසරේ මාර්තු මාසයේදී අභාවප්‍රාප්ත වූවාය. ක්‍රීඩා දිවියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කෙටි කලක් කටයුතු කළ ඔහු, බාබඩෝස් සංචාරක ව්‍යාපාරයේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළේය. තුන්ඉරියව් ක්‍රීඩකයාගේ භූමිකාවට නව අරුතක් එක් කළ සෝබර්ස්, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් නම් කළ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයින් එකොළොස් දෙනාගේ කණ්ඩායමටද ඇතුළත් වූ අතර, ඔහුගේ නමින් අන්තර්ජාතික ක්‍රිකට් කුසලානයක් නම් කර බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ඔහුගේ ප්‍රතිමාවක් ද ස්ථාපිත කර ඇත.

sir-garfield-sobers-dies-at-89

sir-garfield-sobers-dies-at-89

sir-garfield-sobers-dies-at-89

sir-garfield-sobers-dies-at-89