ජාතික ලොතරැයි මණ්ඩලයට විශේෂ ව්‍යාපෘතියක් සඳහා යැයි පවසමින් සේවකයන් තිදෙනෙකු බඳවාගෙන, ඔවුන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දේශපාලන කටයුතු වෙනුවෙන් යෙදවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබූ එම මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරියට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය. මීට අමතරව ඇයට විදේශ ගමන් තහනමක් පැනවීමටත්, ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාගයට අදාළ සාක්ෂිකරුවන්ට කිසිදු අයුරකින් බලපෑම් කිරීමෙන් වළකින ලෙසට සැකකාරියට දැඩි ලෙස අවවාද කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කළ සමයේදී ආයතනික සේවයට බඳවා ගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය සඳහා අනුයුක්ත කර ඇති බවයි. 2025 වසරේ නොවැම්බර් මස 17 වැනිදා අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙම සිදුවීමේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘති ඒකකය වෙනුවෙන් ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු සහ කළමනාකාර සහකාරවරයෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ කළමනාකාර සහකාර තනතුර ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල ධුරාවලිය තුළ පවා නොමැති එකක් බවයි. සැකකාරිය විසින් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නොමඟ යවමින් හිටපු මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම පුද්ගලයන් තිදෙනා බඳවාගෙන ඇති අතර, ඔවුන් ලොතරැයි මණ්ඩලයේ කිසිදු රාජකාරි කටයුත්තකට දායක වී නොමැත.
රවී කරුණානායක මහතාගේ දේශපාලන කටයුතු සඳහා පමණක් සේවය සැපයූ මෙම පිරිස වෙනුවෙන් වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිපාදනවලින් ගෙවා ඇති බැවින් එමඟින් රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි. මෙම ක්‍රියාව අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව දූෂණය නමැති වරද යටතට ගැනෙන බැවින් සහ මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කිරීමට ඇති බැවින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායිකාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට සූදානමින් පසුවන බවයි. ඇය විසින් නඩුවේ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදු කර නොමැති බැවින් ඇය සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ඇප මත මුදා හැරීමට තීරණය කළේය.