saleh-asks-for-food-and-breaks-his-fast

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තමන් මෙතෙක් නිරත වී සිටි ආහාර වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ඔහුගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් ලබා දුන් විශේෂ උපදෙස් සහ සිදු කළ නීතිමය කරුණු පැහැදිලි කිරීම් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව හිටපු බුද්ධි ප්‍රධානියා විසින් ආහාර ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබේ. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පසුවන කාලසීමාව තුළදී ඔහු විසින් මෙම උපවාසය ආරම්භ කරනු ලැබූ අතර, ඉන් සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වීම හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගැනිණි. රෝහල්ගත කිරීමෙන් පසුවද ඔහු මුඛයෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ නමුදු, රෝහල් කාර්ය මණ්ඩලය විසින් සේලයින් මාර්ගයෙන් ඔහුගේ ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් ලබා දීමට කටයුතු කර ඇත. මීට අමතරව, මතු වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර සුරේෂ් සලේ මහතාව රෝහලේ හෘද රෝග වාට්ටුව වෙත මාරු කර යවා එහි ප්‍රතිකාර ලබාදීම ද සිදු කෙරිණි.