වතිකානුවේ අනුමැතියකින් තොරව නව රදගුරු වරුන් පත් කිරීමට අන්ත ගතානුගතික කතෝලික කණ්ඩායමක් විසින් ගෙන ඇති තීරණය අත්හරින ලෙස පාප් වහන්සේ ඔවුන්ගෙන් දැඩි ලෙස ඉල්ලා තිබේ. 'සොසයිටි ඔෆ් සෙන්ට් පියුස් X' (SSPX) නමැති මෙම කැරලිකාර සංවිධානය සිය සෙමනේරියේදී නව රදගුරුවරුන් සිව් දෙනෙකු පත් කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය වසරේ මැයි මාසයේදී පත්වූ සහ කතෝලික සභාවේ සමගියට මුල්තැන දෙන ඇමෙරිකානු ජාතික පාප් වහන්සේට මෙය ප්‍රබල අභියෝගයක් වී ඇති අතර, සම්ප්‍රදායික දක්ෂිණාංශික කතෝලිකයන් සමඟ පවතින සබඳතා තවදුරටත් පළුදු වීමට මෙම ක්‍රියාව හේතු විය හැකි බවට අනතුරු ඇඟවේ.කතෝලික සභාවේ ලිබරල් ප්‍රතිසංස්කරණවලට විරෝධය පාමින් 1970 වසරේදී ස්විට්සර්ලන්තයේ එකෝන් ගම්මානයේදී මෙම SSPX සංවිධානය පිහිටුවා ඇත. සාමාජිකයන් 1,500කට ආසන්න පිරිසකින් සමන්විත මෙම කණ්ඩායම, 1962 සහ 1965 අතර කාලයේදී හඳුන්වා දුන් දෙවන වතිකානු කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. ලතින් භාෂාවෙන් පමණක් පැවැත්වූ දේව මෙහෙයන් ප්‍රාදේශීය භාෂාවලින් පැවැත්වීමට අවසර දීම ඇතුළු වෙනස්කම්වලට ඔවුහු දැඩි සේ විරුද්ධ වෙති. නවීන දේවස්ථානවල මිථ්‍යාදෘෂ්ටික සහ වැරදි ක්‍රියා පවතින බව පවසන ඔවුහු, මෙම රදගුරු පත් කිරීම් හුදෙක් ප්‍රායෝගික අවශ්‍යතාවයක් මත සිදු කරන බවත්, එයින් පල්ලිය තුළ වෙනම අධිකාරියක් පිහිටුවීමේ අරමුණක් නොමැති බවත් ප්‍රකාශ කරති.
කෙසේ වෙතත්, පල්ලියේ නීතියට අනුව මෙවැනි පත් කිරීම් කතෝලික සභාවේ සමගිය බිඳ දමන භේදකාරී ක්‍රියාවක් ලෙස සැලකෙන අතර, එයට සම්බන්ධ වන නව රදගුරුවරුන් සහ එම පත්කිරීම් සිදුකරන රදගුරුවරයා ස්වයංක්‍රීයව සභාවෙන් නෙරපා හැරීමට ලක්වනු ඇත. දාහතරවන ලියෝ පාප් වහන්සේ, SSPX සංවිධානයේ ප්‍රධානියා වන පූජ්‍ය ඩේවිඩ් පැග්ලියාරානි වෙත ලිපියක් යවමින්, මෙම ක්‍රියාවෙන් බැතිමතුන්ගේ අධ්‍යාත්මික යහපතට සිදුවන හානිය පිළිබඳව සලකා බලා එම තීරණයෙන් ආපසු හැරෙන ලෙස මුළු හදවතින්ම ඉල්ලා ඇත. එසේම, ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ සමගිය බිඳ දැමීම බරපතළ පාපයක් බවද උන්වහන්සේ පෙන්වා දී තිබේ. මෙම කණ්ඩායම දිගටම මෙලෙස භේදකාරී ලෙස කටයුතු කරන්නේ නම් කනගාටුවෙන් වුවද ඊට එරෙහිව ඉදිරියට යාමට සිදුවන බවද පාප් වහන්සේ මාධ්‍යවේදීන්ට පවසා ඇත.
පාප් වහන්සේගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් SSPX සංවිධානයේ මාධ්‍ය කළමනාකරු මාක්-ඇන්ඩ්‍රේ මැබිලාඩ් අසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසා ඇත්තේ තම සැලසුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවයි. තම නායකයා විසින් තමන්ව තේරුම් නොගැනීම ගැන කනගාටු වන නමුත්, තමන් අපේක්ෂා කරන යහපත එමඟින් සිදුවන වේදනාවට වඩා විශාල බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ කතුවරයෙකු වන ක්‍රිස්ටෝපර් වයිට් පෙන්වා දෙන්නේ, සභාවෙන් නෙරපා හැරීමේ ප්‍රතිවිපාක පිළිබඳව පැහැදිලිව සඳහන් කිරීම තුළින් තත්ත්වයේ බරපතළකම තහවුරු වන බවත්, බොරු සමගියක් වෙනුවෙන් මෙවැනි අත්තනෝමතික හැසිරීම් දෙස ඇස් පියාගෙන සිටීමට පාප් වහන්සේ සූදානම් නොමැති බවත්ය.