මීට කලකට ඉහත ආන්දෝලනයක් ඇති කරමින් වාර්තාවූ කූට ලේඛන සකස් කරමින් ජනාධිපති පොදු සමාව යටතේ නඩු රැසකට සබැඳි විත්තිකරුවකු නීති විරෝධී ලෙස බන්ධනාගාරයෙන් මුදාහැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේදී අධිචෝදනා භාර දී තිබේ. උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරියේ මෙම හිටපු බන්ධනාගාර අධිකාරිවරයා වෙත වෙන් වෙන් වශයෙන් වූ අධිචෝදනා පහක් කියවා භාර දෙනු ලැබීය.
2025 වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ ජනාධිපති පොදු සමාව යටතේ, එම අවස්ථාව වන විටත් අධිකරණ හමුවේ විභාග වෙමින් පැවති නඩු 28 කට අදාළ විත්තිකරුවකු මෙලෙස නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බව මින් කියැවේ.මෙම සිදුවීමට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික විභාගයක් නොපවත්වා, සිද්ධිය සිදු වී වසරක් ඇතුළත විශේෂ නඩුවක් ලෙස සලකා නීතිපතිවරයා විසින් සෘජුවම මහාධිකරණය හමුවේ මෙම නඩු පැවරීම සිදු කර ඇත. අධිචෝදනා කියවා දීමෙන් පසු හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සිය නීතිඥවරයා මඟින් අධිකරණයට දන්වා සිටියේ තමන් එම චෝදනා පහටම නිවැරදිකරු බවයි. අනතුරුව විත්තිකරු රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළ අතර ඉන් එක් ඇපකරුවකු ළඟම ඥාතියකු විය යුතු බවට ද කොන්දේසියක් පැනවීය. නඩුව ප්‍රථම වරට විභාගයට ගැනීමට තීන්දු කළ මහාධිකරණය, එළඹෙන අගෝස්තු 06 වැනිදා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළේය.
මෙම සිදුවීමේදී අදාළ වරද සිදු කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ, නීති විරෝධී ලෙස නිදහස්ව ගොස් සිටි ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැති දෙවැනි විත්තිකරුට ද එදිනම අධිචෝදනා කියවා භාර දෙන ලදී. ඔහු ද තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය. කෙසේ වෙතත්, වෙනත් මූල්‍ය වංචා නඩුවකට වරදකරු වී වසර පහක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විඳිමින් සිටින මෙම දෙවැනි විත්තිකරු අධිචෝදනා භාර දීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අනුරාධපුර බන්ධනාගාරය මඟිනි.
හිටපු බන්ධනාගාර අධිකාරිවරයා විසින් කූට ලේඛන භාවිත කරමින් නිදහස් කර තිබුණේ අනුරාධපුර මහාධිකරණයේ නඩු 6 ක් සහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 22 ක් ඇතුළුව නඩු 28 කට සම්බන්ධ වී සිටි අයෙකි. තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයකු සතු රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට එවකට අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයා වූ (වත්මන් මාතලේ පළාත්බද මහාධිකරණ විනිසුරු) ආචාර්ය නලින්ද හේවාවසම් මහතා විසින් පැනවූ පස් වසරක බරපතළ සිරදඬුවම හේතුවෙන් ඔහු මේ වන විටත් බන්ධනාගාරගතව පසු වේ.
පොදු සමාව යටතේ මෙම විත්තිකරු නීති විරෝධී ලෙස නිදහස් කිරීමේ සිදුවීම අනාවරණය වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතාව අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසුව මසකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු, දැනට පසුවන්නේ මහේස්ත්‍රාත් අධිකරණය පැනවූ දැඩි ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනමක් යටතේය. මෙම බන්ධනාගාරගත වීමත් සමඟම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග පරිදි ඔහුගේ වැඩ තහනමට ලක් කිරීමට ද පියවර ගැනුණි.
දෙවැනි විත්තිකාර අතුල තිලකරත්න නැමැත්තා මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කරමින් රුපියල් කෝටි 50 කට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඔහුට එරෙහිව පවතින නඩු 28 හි පැමිණිලිකරුවන් අතර විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, උසස් පොලිස් නිලධාරීන්, රාජ්‍ය පරිපාලන නිලධාරීන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් වැනි සමාජයේ ඉහළ පෙළේ ප්‍රභූන් රැසක් සිටින බව අනාවරණය වේ. තමා සේවය කළ මූල්‍ය ආයතනය හරහා ඉහළ පොලී අනුපාත ලබා දෙන බව පවසමින් ඔහු මෙම වංචාවන් සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලදී හෙළි වී ඇත. එමෙන්ම, ලැජ්ජාව නිසා නීතිමය පියවර නොගත්, මෙම ආයතනයේ කෝටි ගණනින් මුදල් තැන්පත් කර අහිමි කරගත් තවත් පිරිසක් සිටින බව ද අනාවරණය වී තිබේ. කූට ලේඛන සකස් කරමින් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවකු නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයක නඩු පැවරූ මෙරට පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.