ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමේ අරමුණින්, පෙට්‍රල් මගින් ධාවනය වන ත්‍රිරෝද රථ සහ ස්කූටර් තහනම් කිරීමට එරට රජය සැලසුම් කර ඇත. දශකය අවසන් වීමට පෙර නගරයේ පවතින දැඩි වායු දූෂණය පාලනය කිරීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන ප්‍රවර්ධනය කිරීමට නව ප්‍රතිපත්ති හරහා අපේක්ෂා කෙරේ.
ඉදිරි වසර දෙක ඇතුළත නව පෙට්‍රල් සහ ගෑස් ස්කූටර්, ට්‍රක් රථ සහ බස් රථ භාවිතයෙන් ඉවත් කිරීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණක් වී තිබේ.දිල්ලි නගරයේ වායු දූෂණය සඳහා ප්‍රවාහන අංශය විශාල වශයෙන් දායක වන අතර, නගරයේ සමස්ත වාහන සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම ස්කූටර් සහ ත්‍රිරෝද රථ වේ. නව ප්‍රතිපත්තිය යටතේ 2027 වසරේ සිට කුඩා ට්‍රක් රථ සහ ත්‍රිරෝද රථ සඳහා මෙන්ම 2028 වසරේ සිට ස්කූටර් සහ යතුරුපැදි සඳහා නව බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ඒවා සම්පූර්ණයෙන්ම විද්‍යුත් වාහන (EV) නම් පමණි. මෙම වැඩපිළිවෙළ හරහා 2030 වසර වන විට නගරයේ වාහනවලින් අවම වශයෙන් 30%ක් හෝ විද්‍යුත් වාහන බවට පත් කිරීම රජයේ ඉලක්කය වී තිබෙන අතර, එය ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මෙම හදිසි වෙනස සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරන් තුළ පවතින්නේ යම් කනස්සල්ලකි. විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා ගතවන කාලය හේතුවෙන් තම දෛනික ආදායමට බලපෑම් එල්ල විය හැකි බවටත්, ආරෝපණ මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීම පිළිබඳවත් ඔවුහු බිය පළ කරති. තවද, බැටරි සොරකම් කිරීම් සහ නඩත්තු කිරීමේ දුෂ්කරතා පිළිබඳව ද රියදුරන් සිය අවධානය යොමු කර ඇත. වායු දූෂණය අවම කිරීමේ වැදගත්කම ඔවුන් පිළිගත්තද, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙම වෙනසට හැඩගැසීමේදී එහි ආර්ථික බර තමන් මත පැටවෙනු ඇතැයි ඔවුහු සැක පළ කරති.
මෙම ගැටලුවලට පිළියමක් ලෙස අගනුවර පුරා පොදු ආරෝපණ මධ්‍යස්ථාන 30,000කට වඩා ස්ථාපිත කිරීමට රජය පොරොන්දු වී ඇත. ඊට අමතරව, විද්‍යුත් වාහන මිලදී ගන්නා පුද්ගලයින් දිරිමත් කිරීම සඳහා මාර්ග සහ වාහන බදු සහන ලබා දීමටද නව ප්‍රතිපත්තිය මගින් පියවර ගෙන තිබේ. මෙවැනි දිරිගැන්වීම් හඳුන්වා දී තිබුණද, නගරයේ වාහන තදබදය සහ දූවිලි අවම කිරීම සඳහා හුදෙක් විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව විචාරකයින්ගේ මතයයි. ඔවුන් අවධාරණය කරන්නේ විද්‍යුත් වාහන ප්‍රතිපත්තියට සමගාමීව නගරය පුරා විසිරී ඇති දුර්වලතා මඟහරවා ගනිමින් හරිත පොදු ප්‍රවාහන සේවාවන් තවදුරටත් පුළුල් හා කාර්යක්ෂම කළ යුතු බවයි.