
පසුගිය කාලසීමාව පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දෛනිකව වාර්තා වූ සංවිධානාත්මක වෙඩි තැබීම් මාලාව සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පුළුල් විමර්ශන පිළිබඳව මේ වන විට විශේෂ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ සමාජය දැඩි භීතියකට පත් කරමින්, නිවාස සහ විවිධ උත්සව අවස්ථා ඉලක්ක කර ගනිමින් වෛරසයක් මෙන් වේගයෙන් පැතිර ගිය මෙම වෙඩි තැබීම් මාලාව පොදු සමාජය තුළ හඳුන්වනු ලැබුවේ "දවසේ වෙඩිල්ල" යන නාමයෙනි.
කෙසේ වුවද, මෙම අපරාධ රැල්ල මෙහෙයවූ ශ්‍රී ලාංකික අපරාධකරුවන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වීමත් සමඟ එම දරුණු වෙඩි තැබීම් මාලාවේ අවසානය සනිටුහන් විය.ආරක්ෂක අංශ විසින් මෙම සිදුවීම් පිළිබඳව දිගින් දිගටම සිදු කරන ලද විමර්ශන සහ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් හරහා පැහැදිලි වී ඇත්තේ, මෙම වෙඩි තැබීම්වලින් බහුතරයක් රජය සහ ආරක්ෂක අංශ අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශවයන්ගේ කොන්ත්‍රාත් මත සිදු කර ඇති බවයි. වත්මන් රජය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක කරන දැඩි වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් අඩාල කිරීම සහ සමාජය තුළ අනාරක්ෂිත භාවයක් පිළිබඳ මතභේදාත්මක වාතාවරණයක් නිර්මාණය කරමින් මහජනතාව භීතියට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
පොලිස් බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ යුද හමුදා බුද්ධි අංශ ඒකාබද්ධව සිදු කළ පුළුල් සොයා බැලීම්වලදී තහවුරු වී ඇත්තේ අපරාධකරුවන් විසින් සුවිශේෂී රටාවක් අනුගමනය කර ඇති බවයි. ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා හෝ පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් කිසියම් ප්‍රදේශයකට ගොස් පාතාලය මර්දනය කරන බවට සහ මහජනතාවට බිය විය යුතු නැති බවට ප්‍රකාශ සිදු කර දින දෙකක් ඇතුළත, අදාළ ප්‍රදේශයේම කිසිදු පැහැදිලි අරමුණක් නොමැති වෙඩි තැබීම් සිදු කර තිබේ. ඇතැම් වෘත්තිකයන් බිය වැද්දීම සඳහා ද මෙලෙස වෙඩි තැබීම් සිදු කර ඇති අතර, ඩුබායි සිට රැගෙන ආ සැකකරුවන්ගේ ප්‍රකාශ මත මෙම සැලසුම්සහගත ක්‍රියාවන් පිටුපස කිසියම් දේශපාලන හස්තයක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් සිටින්නේද යන්න පිළිබඳව ආරක්ෂක අංශ පූර්ණ විමර්ශනයක් අරඹා ඇත.
මේ අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වාණිජ අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිදු කළ වැටලීමකදී විශේෂ අත්අඩංගුවට ගැනීමක් සිදු කර තිබේ. එහිදී එම හෝටලයේ සේවය කළ අවුරුදු 29ක තරුණයෙකු සන්තකයේ තිබී පිස්තෝල ගිනි අවියක්, පතරොන් 30ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 85ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 98,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සේවකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ගිනි අවිය කළුතර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බෑණනුවන්ට අයිති එකක් බවයි. මෙම හෝටලයද එම දේශපාලනඥයාගේ බෑණනුවන්ට අයත් එකක් ලෙස වාර්තා වන අතර, එම ගිනි අවිය නීත්‍යානුකූල බලපත්‍ර සහිත එකක් බවට ඔවුන් ප්‍රකාශ කර ඇතත්, මේ දක්වා ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත. මීට අමතරව, සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන 'මිස්ටර් කොත්තු විරාජ්' නමැත්තා අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් ජාතික මට්ටමේ බරපතල ගැටලු නොවන අතර, එම පවුල් සහ පොලිසිය මැදිහත් වී ඒවා ඉදිරියේදී විසඳනු ඇතැයි වාර්තා වේ.