
දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් නවීන එන්නත් හඳුන්වා දීමටත්, ‘වොල්බැකියා’ නමැති ස්වභාවික බැක්ටීරියා ආශ්‍රිත ජෛව විද්‍යාත්මක මදුරු මර්දන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ඩෙංගු මර්දන දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
දැනටමත් ලෝකයේ රටවල් 41ක සාර්ථකව භාවිත කෙරෙන මෙම එන්නත් ක්‍රමවේදය මෙරට සමාජයටද කඩිනමින් හඳුන්වා දීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.වර්තමාන ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ දත්ත විශ්ලේෂණය කිරීමේදී සමස්ත රෝගීන්ගෙන් සියයට 52.5ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, ඉන් සියයට 20ක්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පමණක් හඳුනාගෙන තිබීම සුවිශේෂී තත්ත්වයකි. මෙම දැඩි අවදානම් සහගත තත්ත්වයට කඩිනම් පිළියම් සැපයීමක් ලෙස, බස්නාහිර පළාත තුළ පිහිටි දැඩි අවදානමකට ලක්ව ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 23ක් ඉලක්ක කරගනිමින් විශේෂිත වූ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ඩෙංගු රෝගය වර්තමානයේ ප්‍රධාන සමාජයීය අභියෝගයක් බවට පත්ව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාව මුහුණ දුන් දරුණුතම ඩෙංගු ව්‍යසනය වාර්තා වූ 2017 වසරේදී රෝගීන් එක්ලක්ෂ අසූහත්දහසකට අධික පිරිසක් සහ මරණ 447ක් වාර්තා වූ ආකාරය සිහිපත් කළේය. වර්තමානයේ පවතින ගෝලීය කාලගුණික විපර්යාස හා දේශගුණික රටාවන් මදුරුවන් බෝවීම සඳහා වඩාත් හිතකර වටපිටාවක් නිර්මාණය කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේ වුවද, සෞඛ්‍ය අංශ සතු සායනික ප්‍රතිකාර සේවා සහ කළමනාකරණ කටයුතුවල සිදු වූ කැපී පෙනෙන දියුණුව හේතුවෙන්, 2009 වසරේදී සියයට එකක මට්ටමක පැවැති මරණ අනුපාතිකය මේ වන විට සියයට 0.05ත් 0.06ත් අතර අගයක් දක්වා කැපී පෙනෙන ලෙස පහත හෙළීමට සමත්ව ඇත.
මේ අතර රෝගීන් වෙනුවෙන් පවතින ප්‍රතිකාර පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ යටතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් විශේෂිත ඩෙංගු වාට්ටු සහ අධි රඳවා ගැනීමේ ඒකක (HDU) අලුතින් ස්ථාපිත කිරීමටත්, අවශ්‍ය අතිරේක විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙද සහ සහායක කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමටත් පියවර ගනිමින් පවතී. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගේ දත්තයන්ට අනුව, 2026 වසරේ ගත වූ කාලය තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 61,060ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 39කි. මෙම මරණ අතර වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් පස් දෙනෙකු සිටින බවත්, පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් අතර මරණ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවත් හෙතෙම අනාවරණය කළේය.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරීම ඩෙංගු ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ඇති එකම ස්ථිරසාර විසඳුම වන අතර, එම සාම්ප්‍රදායික කටයුතු අඛණ්ඩව සිදු කරන අතරම මෙම නවීන තාක්ෂණික ක්‍රමවේද ක්‍රියාවට නංවන බව බලධාරීහු ප්‍රකාශ කරති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේ, ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව තුළ ස්ථාවරව පවතින රෝගී තත්ත්වයක් බැවින් මදුරු මර්දන කටයුතු යනු කලින් කලට සිදුකරන තාවකාලික ව්‍යාපෘතියක් නොවිය යුතු බවයි. ඒ වෙනුවට ඩෙංගු මර්දනය මහජනතාවගේ දෛනික ජීවන රටාවේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරගත යුතු බවද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.