it-is-revealed-how-marvin-earned-crores-of-assets-during-his-ministerial-tenure---18-crores-in-pan-asia-account

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 600කට අධික වත්කම් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව ලබන අගෝස්තු මස 20 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගැනීමට නියමිතය. විමර්ශන නිලධාරීන් විසින් අධිකරණය හමුවේ තබා ඇති තොරතුරුවලට අනුව, මෙම නඩු වාරයේදී ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක නිලධාරීන් සාක්ෂි ලබාදීමට නියමිත අතර, විත්තිකරු සහ ඔහුගේ පවුලේ සමීපතමයන් සතු බැංකු ගිණුම්, ස්ථාවර තැන්පතු, ඉඩම් හා සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් දීර්ඝ කරුණු අනාවරණය වීමට නියමිතව තිබේ.




අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අමා විජයසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලබන මෙම නඩුවෙන් චෝදනා එල්ල වී ඇත්තේ, 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ දෙවසරක කාලසීමාව තුළ මර්වින් සිල්වා මහතා සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් සනාථ කළ නොහැකි රුපියල් මිලියන 485ක පමණ දැවැන්ත ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවටය. අමාත්‍ය ධුරය දැරූ එම කෙටි කාලය තුළදී හිටපු අමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් දේශපාලන බලය භාවිත කරමින් අත්පත් කරගෙන ඇති වත්කම් රැසක තොරතුරු අධිචෝදනා පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත්ව ඇත.

අධිකරණ ලේඛනවලට අනුව පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පමණක් හිටපු අමාත්‍යවරයා නමින් පවත්වාගෙන ගොස් ඇති ස්ථාවර තැන්පතු 10ක එකතුව රුපියල් මිලියන 182.3ක් (රුපියල් කෝටි 18.23ක්) ඉක්මවයි. එම තැන්පතු අතුරින් එක් ස්ථාවර තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6ක අගයකින් යුක්ත වන අතර රුපියල් මිලියන 36.6ක්, රුපියල් මිලියන 36.5ක් සහ රුපියල් මිලියන 22.5ක් වන තවත් විශාල තැන්පතු තිහක්ද ඊට ඇතුළත් වේ. මීට අමතරව එම බැංකු ශාඛාවේම එකක් රුපියල් ලක්ෂ 33 ඉක්මවූ තවත් ස්ථාවර තැන්පතු ගිණුම් පහක්ද පවත්වාගෙන ගොස් තිබේ.




හිටපු අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟද විවිධ මූල්‍ය ආයතනවල බද්ධ සහ තනි තැන්පතු පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන බිරිඳ ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා මහත්මිය සමඟ පෑන් ඒෂියා බැංකුවේ පැවති බද්ධ ගිණුමක 2010 වසර වන විට රුපියල් මිලියන 2.14ක (රුපියල් 2,140,199.36) ශේෂයක් පැවති අතර, පුත් මාලක මනෝජිත් සිල්වා සමඟ සම්පත් බැංකුවේ පැවති ගිණුමක රුපියල් මිලියන 2.68ක (රුපියල් 2,687,852.25) මුදලක් තැන්පත් කර තිබී ඇත. එසේම වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ මාලක සිල්වාගේ නමින් රුපියල් මිලියන 15ක සහ රුපියල් මිලියන 35ක තැන්පතු දෙකක්ද, දියණිය වන සන්දීපනී මලිකා සිල්වා සහ බෑණනුවන් වන එම්.සී. අගුළුගමුව යන අයගේ නමින් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතුද, මර්වින් සිල්වා මහතාගේ නමින් රුපියල් මිලියන 14ක තැන්පතුවක්ද පවත්වාගෙන ගොස් තිබේ.

මීට අමතරව 2012 වසර වන විට බැංකු තුනක පවත්වාගෙන ගිය ජංගම ගිණුම්වල රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් පැවති අතර, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් මිලියන 32.5ක තැන්පතුවක්ද DFCC වර්ධන බැංකුවේ රුපියල් මිලියන 6.8ක තැන්පතුවක්ද පවත්වාගෙන ගොස් ඇත.



දේපළ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමේදී කොළඹ ඉහළම වටිනාකමක් සහිත ප්‍රදේශවලින් නිශ්චල දේපළ මිලදී ගැනීමට ඔහු කටයුතු කර ඇති බව අනාවරණය වේ. ඒ අනුව කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක්ද, රාජගිරිය නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක්ද, කඩවත දලුපිටිය ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක ඉඩමක්ද මිලදී ගෙන තිබේ. මීට අමතරව වික්ටෝරියා ව්‍යාපෘතියට අයත් කුණ්ඩසාලේ නිලගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් 1994 වසරේ සිට රුපියල් 1,600ක ඉතා සුළු බදු කුලියකට පවරාගෙන තිබූ බවද හෙළි වී ඇත.

ඔහු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කාලය ඇතුළත ඉතා කෙටි කාල පරාසයන් තුළ සුඛෝපභෝගී වාහන 7ක් මිලදී ගෙන තිබීම විශේෂත්වයකි. ඒ අනුව 2010 අප්‍රේල් 10 වනදා Porsche රථයක්ද, ඊට මාස තුනකට පසු ජූලි මාසයේදී පුත් මාලක සිල්වා වෙනුවෙන් රුපියල් මිලියන 28.8ක් වටිනා Range Rover Sport Petrol V8 රථයක්ද, 2010 ඔක්තෝබර් මාසයේදී රුපියල් මිලියන 32.3ක් වටිනා Mercedes Benz රථයක්ද මිලදී ගෙන ඇත. මීට අමතරව රුපියල් ලක්ෂ 20ක් වටිනා Land Rover රථයක්, රුපියල් මිලියන 9ක Hyundai ජීප් රථයක් සහ රුපියල් ලක්ෂ 58ක් වටිනා ලොරි රථ දෙකක්ද මෙම කාල සීමාවේදී මිලදී ගෙන තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ දෛනික වියදම් රටාවද ඉතා ඉහළ අගයක පැවති බව නඩු ලේඛනවල සඳහන් වන අතර, සම්පත් සහ සෙලාන් බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් භාවිත කරමින් වසර දෙක තුළ රුපියල් ලක්ෂ 42කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා ලබාගෙන ඇත. එමෙන්ම මූලාශ්‍ර අනාවරණය නොකළ රුපියල් මිලියන 34.7ක දැවැන්ත ණය මුදලක් ගෙවා දමා ඇති අතර, රිතූ ආකර්ශා නැමැත්තියකට රුපියල් 240,000ක මුදලක් ලබා දී තිබේ. විත්තිකරු තමා වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන නොතිබුණද, බිරිඳ සහ දරුවන් වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 13ක පමණ වාරික ගෙවමින් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඉන් රක්ෂණ ඔප්පු 4ක්ම මාලක සිල්වා වෙනුවෙන් පවත්වාගෙන ගොස් ඇත.