discussions-begin-to-start-a-passenger-drone-service-in-sri-lanka

ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, සිරස් අතට ගුවනට පිවිසිය හැකි සහ ගොඩබැසිය හැකි (eVTOL) මගී ඩ්‍රෝන යානා මෙහෙයුම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (CAASL) සහ 'EHang Intelligent' සමාගම අතර විශේෂ තාක්ෂණික සාකච්ඡාවක් පවත්වා තිබේ. ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම ප්‍රමුඛ මට්ටමේ හමුවේදී මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයට එක්වීමට නියමිත මෙම තාක්ෂණයේ ඉදිරි පියවරයන් පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.




වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සමඟ පැවැත්වුණු සාකච්ඡාවට පසුව සංවිධානය කරන ලද මෙම දෙවැනි හමුව, නවීන ගුවන් ප්‍රවාහන තාක්ෂණයන් ආරක්ෂිත මෙන්ම විධිමත් ලෙස මෙරටට හඳුන්වා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ තවත් සාර්ථක පියවරකි. මෙහිදී EHang Intelligent සමාගම තමන් සතු නූතන තාක්ෂණික ශක්‍යතාවන් විදහා දැක්වූ අතර, චීන සිවිල් ගුවන්සේවා පරිපාලනයෙන් (CAAC) 'Type Certificate' සහතිකය දිනාගත් ලොව ප්‍රථම eVTOL නිෂ්පාදකයා ලෙස තමන් ලබා ඇති ජාත්‍යන්තර ජයග්‍රහණය ද මෙහිදී විස්තර කළේය.

අනාගතයේදී වාණිජ eVTOL සේවාවන් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ස්ථාපිත කිරීමේ අරමුණින්, මෙරට තුළ eVTOL 'Regulatory Sandbox' නියාමන රාමුවක් සකස් කිරීමට ද එම සමාගම මෙහිදී යෝජනා කර ඇත. මෙමගින් පර්යේෂණ, තාක්ෂණික සංවර්ධන, ප්‍රදර්ශන සහ පරීක්ෂණ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, ඉදිරි වාණිජමය කටයුතු ආරම්භ කිරීම සඳහා ක්‍රමානුකූල මෙන්ම විධිමත් මාර්ගයක් සකස් කිරීම අපේක්ෂා කෙරේ.

discussions-begin-to-start-a-passenger-drone-service-in-sri-lanka