it-is-decided-to-call-back-kavadi-groups-for-the-devinuwara-perahera

ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පසුගිය වසරේ සහභාගී වූ කාවාඩි කණ්ඩායම් 45කට යළිත් අවස්ථාව ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ මාතර දිසාපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.




මෙම තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බත්තරමුල්ල සුහුරුපාය හි පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී අදහස් දැක්වූ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේ 769 වන වරටත් සංවිධානය වන දෙවිනුවර පෙරහැර සඳහා කාවාඩි නර්තන අංගය එක්වී ඇත්තේ මීට වසර 35ක - 40ක පමණ අතීතයක සිට බවයි.

කෙසේවෙතත්, පසුගිය වසරවල මෙම නර්තන අංගය ඉදිරිපත් කිරීමේදී ඇතැම් ශිල්පීන් අසභ්‍ය ලෙස හැසිරීම, අඩනිරුවතින් පෙනී සිටීම සහ අධික ලෙස මත්පැන් පානය කර නර්තනයේ යෙදීම වැනි විනය විරෝධී ක්‍රියාකාරකම් රැසක් වාර්තා වී තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. එම තත්ත්වය සලකා බලා ඉකුත් වසරේදී එවැනි විනය විරෝධී කණ්ඩායම් කිහිපයක් පෙරහැරෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර, ඒ හේතුවෙන් පාතාල කණ්ඩායම් කිහිපයක් අතර යම් යම් මතභේදාත්මක වාදවිවාද සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වී තිබිණි.




පවත්නා තත්ත්වය හමුවේ මහජනතාවගේ මෙන්ම පෙරහැරට සහභාගී වන පිරිස්වල ද ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ ලබාදුන් වාර්තා පදනම් කරගනිමින් පොලිස්පතිවරයා විසින් විශේෂ නිර්දේශයන් ඉදිරිපත් කර ඇති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය විය.