නව ඇපල් අයිෆෝන් මාදිලියක් වෙළඳපොළට නිකුත් වීමට ආසන්න වන විට පැරණි මාදිලිවල මිල පහත වැටීම සාමාන්‍යයෙන් අපේක්ෂා කළද, එය සෑම විටම එසේ සිදු නොවන බව ඩුබායි හි ඩේරා (Deira) වෙළඳපොළේ ජංගම දුරකථන වෙළෙඳුන් පෙන්වා දෙයි. ඔවුන් පවසන පරිදි, නව දුරකථනයක් නිකුත් වීමට සති කිහිපයකට පෙර ඇතැම් අවස්ථාවලදී පැරණි මාදිලිවල මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ නව මාදිලිය එනතුරු බලා නොසිට දැනට පවතින මාදිලිය මිලදී ගැනීමට පාරිභෝගිකයින් පෙළඹීමයි. මේ හරහා වෙළඳපොළේ තොග සීමා වී අධික ඉල්ලුමක් නිර්මාණය වේ.ඉදිරියේදී නිකුත් වීමට නියමිත අයිෆෝන් 18 (iPhone 18) මාදිලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වඩාත් මිල අධික විය හැකි බවට මේ දිනවල පැතිර යන වාර්තා හේතුවෙන් ඉහත කී තත්ත්වය මනාව නිර්මාණය වී ඇත. මේ හේතුවෙන් දේශීය වෙළඳපොළේ අයිෆෝන් 17 මාදිලි කිහිපයකම මිල ඩිරාම් 200 සිට 300 දක්වා ප්‍රමාණයකින් දැනටමත් ඉහළ ගොස් තිබේ. ඩේරා හි 'ෆෝන්ලයින්' ආයතනයේ මොයිදීන් මුස්තාෆා මහතා සඳහන් කරන පරිදි, දින කිහිපයකට පෙර ඩිරාම් 4,700 කට පමණ අලෙවි වූ අයිෆෝන් 17 ප්‍රෝ (iPhone 17 Pro) මාදිලිය මේ වන විට ඩිරාම් 4,900 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉල්ලුම තවදුරටත් පැවතුනහොත් එය ඩිරාම් 5,100 සීමාවද ඉක්මවා යාමට ඉඩ ඇත.
එමෙන්ම, භාවිත කරන ලද (used) අයිෆෝන් 17 ප්‍රෝ මාදිලියක් මේ වන විට ඩිරාම් 4,200 කට පමණ අලෙවි වන අතර, ගිගාබයිට් 256 ක ධාරිතාවකින් යුත් අයිෆෝන් 16 ප්‍රෝ මැක්ස් (iPhone 16 Pro Max) මාදිලියක් ඩිරාම් 4,000 කට පමණ මිලදී ගත හැක. ඉල්ලුම වර්ධනය වීමත් සමඟ මෙම භාවිත කරන ලද දුරකථනවලද මිල ඉදිරියේදී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම අයිෆෝන් 17 ප්‍රෝ මාදිලිය සඳහා මේ දිනවල ඉහළම ඉල්ලුමක් පවතින අතර, පසුගිය දිනවල ඇතැම් දුරකථන ඒකකවල හිඟයක්ද දක්නට ලැබුණු බව වෙළෙඳුන් කියා සිටී. අයිෆෝන් 6, අයිෆෝන් X, අයිෆෝන් 12 සහ අයිෆෝන් 17 නිකුත් වීමට පෙරද මෙවැනිම ඉහළ ඉල්ලුමක් පැවති බව ඔවුන් සිහිපත් කරයි.
කෙසේ වෙතත්, අයිෆෝන් 11 සහ අයිෆෝන් 13 මාදිලි හඳුන්වා දීමට පෙර මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් දක්නට ලැබුණු අතර, එහිදී නව මාදිලි සඳහා ඉඩ සලසා ගැනීම වෙනුවෙන් වෙළෙඳුන් තම පැරණි තොග විකුණා දැමීම නිසා නව සහ පැරණි යන දුරකථන දෙවර්ගයේම මිල ක්‍රමයෙන් පහත වැටුණි. ඩේරා හි තවත් වෙළෙන්දෙකු වන අෂ්රෆ් මහතා පවසන්නේ සෑම වසරකම වෙළඳපොළේ ස්වභාවය වෙනස් වන බවයි. ඇතැම් විට නව මාදිලිය නිකුත් වනතුරු පාරිභෝගිකයින් බලා සිටින නිසා පැරණි මාදිලිවල මිල පහත වැටෙන නමුත්, තවත් විටෙක මීළඟ මාදිලිය වඩාත් මිල අධික වනු ඇතැයි යන බිය නිසා ඔවුන් කඩිනමින් පවතින මාදිලිය මිලදී ගැනීමට යොමු වීමෙන් මෙලෙස මිල ගණන් ඉහළ යයි. සැප්තැම්බර් මාසයේදී අයිෆෝන් 18 නිකුත් වන තුරු අයිෆෝන් 17 ප්‍රෝ මැක්ස් සඳහා පවතින මෙම ප්‍රබල ඉල්ලුම අඛණ්ඩව පවතිනු ඇති බවත්, මේ හේතුවෙන් ඇතැම් ජනප්‍රිය මාදිලිවල හිඟයක් ඇතිවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් විශ්වාස කරයි.