if-our-children-are-not-admitted-to-popular-schools-they-do-not-look-at-al-answer-sheets---universities

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛය හේතුවෙන් පැන නැඟී ඇති ගැටලුවලට රජය කඩිනම් විසඳුම් ලබා නොදුන්නහොත්, ඉදිරි අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අනතුරු අඟවයි.




විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා ප්‍රකාශ කරන්නේ මෙම නව චක්‍රලේඛය හරහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් පසුගිය වසර එකහමාරක කාලය පුරාම බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වූ වුවද, රජය ඊට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් තමන්ට මෙම දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙත යොමු වීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

පසුගියදා පැවැති සියලුම විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තීය සමිතිවල ප්‍රධාන රැස්වීමකදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට ඒකමතිකව තීරණය වී තිබේ. ඒ අනුව, එහි මූලික පියවරක් ලෙස පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් දායකත්වය සපයනු ලබන විෂයමාලා සංශෝධන, මොඩියුල යාවත්කාලීන කිරීම්, ගුරු පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණ ඇතුළු සියලුම ස්වේච්ඡා සේවාවලින් ක්ෂණිකව ඉවත් වීමට ඔවුන් පියවර ගෙන ඇත.




වත්මන් රජයට මේ සඳහා සාධාරණ විසඳුම් ලබා දීමට සති දෙකක කාලයක් ලබා දෙන බව ප්‍රකාශ කරන මහාචාර්ය වීරතුංග මහතා, එම කාලය තුළ නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරි උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය ගන්නා බව අවධාරණය කළේය. වසර එකහමාරකට අධික කාලයක් සාකච්ඡා පවත්වා තිබියදීත් තම දරුවන්ට පාසල් අහිමි වන තත්ත්වයක් පවතින්නේ නම් රජය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පලක් නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.