
තම බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් මුල් කරගනිමින් කඹුරුපිටිය නගර මධ්‍යයේ පිහිටි අධිබලැති විදුලි රැහැන් කුලුනකට නැග විරෝධය පෑ පුද්ගලයාගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් දෙලක්ෂයක මුදලක් අය කර ගැනීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය.
පසුගිය 21 වැනිදා කඹුරුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු ඊට පසුදින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට පියවර ගැනිණි. එසේම මොහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට සිදු වූ අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එදින පොලීසියට නියම කර තිබුණි.
ඉන් අනතුරුව පැවැති නඩු විභාගයේදී සැකකරු චෝදනාවට වරද පිළිගත් අතර, මෙම සිදුවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් දෙලක්ෂ එක්දහස් නවයයි ශත අනූවක මුදලක අලාභයක් සිදුව ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. පසුව සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබූ අතර අදාළ පාඩුව පියවන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කරමින් නඩුව නොවැම්බර් 03 වැනිදා දක්වා කල් තැබීය.
තම බිරිඳ සමඟ අමනාප වී පැමිණි මෙම පුද්ගලයා අධිබලැති විදුලි කුලුනට නැගීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයට සිදු විය. මෙහිදී නාදුගල, තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, රන්දෑගොඩ, මාපලාන, විටියල, මුලටියන, දෙයියන්දර, දෙනියාය සහ මාවරල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට පැය තුනකට ආසන්න කාලයක් විදුලිය නොමැතිව සිටීමට සිදු වූ අතර, වෙළඳසැල් වේලාසනින් වසා දැමීමට සිදු වීමෙන් ව්‍යාපාරිකයන්ට ද දැඩි පාඩුවක් සිදු විය.
පසුව අදාළ පුද්ගලයාගේ ඥාතීන් එම ස්ථානයට කැඳවා ඔවුන්ගේ ද සහාය ඇතිව සැකකරු බිමට බස්සා ගැනීමට පොලීසිය කටයුතු කළේය. කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති මනෝජ් දිසානායක මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබීය.