
කුරුඳුවත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලා තායිලන්ත ජාතික කාන්තාවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. මෙම වැටලීම සිදු වන අවස්ථාවේදී අදාළ ස්ථානයේ හිමිකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 22 ත් 48 ත් අතර පසුවන තායිලන්ත ජාතික කාන්තාවන් පිරිසකි.අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු විශේෂ තොරතුරකට අනුව උපායදූතයෙකු යොදවා සිදු කළ සූක්ෂම මෙහෙයුමකින් පසුව මෙම වැටලීම සිදු කර ඇත. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මාසයක කාලයකට පමණක් වීසා බලපත්‍ර ලබාගෙන මෙරටට පැමිණ ඇති මෙම කාන්තාවන්, අදාළ ස්පා මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් නීති විරෝධී ලෙස ජාවාරමේ යෙදී ඇති බවයි. ඔවුන් මෙලෙස මාසිකව රුපියල් ලක්ෂ ගණනක මුදලක් උපයාගෙන ඇති බවද සඳහන් වේ.
එක් කාන්තාවකගෙන් සේවය ලබා ගැනීම සඳහා රුපියල් 20,000 ත් 30,000 ත් අතර මුදලක් අය කර ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් තහවුරු වී තිබේ. අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතික කාන්තාවන් එකොළොස් දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.