ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ හටගෙන ඇති දැවැන්ත ලැව්ගිනි තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනකට සිය නිවාස සහ නිවාඩු නිකේතන අතහැර හදිසි ආරක්ෂිත කඳවුරු වෙත පලා යාමට සිදුවී ඇති බව වාර්තා වේ. මෙම ව්‍යසනය හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, මෙය ප්‍රංශයේ සාමකාමී සමයක සිදුකළ දැවැන්තම සිවිල් ජනතා ඉවත් කිරීමේ මෙහෙයුමක් බවට පත්ව තිබේ.
අවතැන් වූ පවුල් ප්‍රදර්ශන ශාලා සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ තුළ පිහිටුවා ඇති තාවකාලික කඳවුරු වල කඳවුරු ඇඳන් මත රැඳී සිටින අයුරු දැකගත හැකිය.මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නැගෙනහිර ස්පාඤ්ඤයේ එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රංශයේ බෝඩෝ (Bordeaux) නගරය ආසන්නයේ ගින්න නිවීමට ගිය ගිනි නිවන භටයින් දෙදෙනෙකු ද මියගොස් ඇත. බෝඩෝ නගරය මෙන්ම ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් නගරය අවට ප්‍රදේශවලින් ද විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. බලධාරීන් විසින් ස්පාඤ්ඤයේ ටොලිඩෝ (Toledo) ආසන්නයේ ද නව ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තත්ත්වය තවත් අවදානම් සහගත වනු ඇතැයි ස්පාඤ්ඤ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත.
ප්‍රංශයේ ජිරොන්ඩ් (Gironde) ප්‍රදේශයේ හටගත් ලැව්ගින්න හේතුවෙන් අසාමාන්‍ය ගිනි වලාකුළු විශේෂයක් නිර්මාණය වී ඇති අතර, ඒ හරහා හටගන්නා සුළං තත්ත්වයන් නිසා ගින්න හැසිරෙන ආකාරය අනුමාන කිරීම සහ පාලනය කිරීම අතිශයින් දුෂ්කර වී තිබේ. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපය පුරා මෙවැනි ආන්තික වියළි කාලගුණික තත්ත්වයන් සහ උෂ්ණ තරංග නිරන්තරයෙන් ඇතිවන බවයි.
ලැව්ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා ප්‍රංශය විසින් සෙබළුන් 1,500ක පමණ පිරිසක් යොදවා ඇති අතර අනෙකුත් යුරෝපා සංගමයේ රටවලින් ද ගිනි නිවන ගුවන් යානා ඇතුළු සහාය හිමිවෙමින් පවතී. නිල දත්ත වලට අනුව මේ වන විට ප්‍රංශය පුරා හෙක්ටයාර 98,000කට ආසන්න භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති අතර, නිරිතදිග ප්‍රංශයේ පමණක් ගොඩනැගිලි 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වී හෙක්ටයාර 32,000කට වැඩි ප්‍රමාණයක් අළු බවට පත්ව ඇත. ස්පාඤ්ඤයේ බලධාරීන් තහවුරු කරන්නේ මැඩ්රිඩ් නුවර ආශ්‍රිත ප්‍රදේශවල ද හෙක්ටයාර 25,000ක් පමණ මේ වන විටත් දැවී ගොස් ඇති බවත්, ප්‍රධාන ලැව්ගිනි දෙකක් එකට එක්වීමේ අවදානමක් පවතින බවත්ය.