malaysia-becomes-the-fastest-data-center-hub-in-asia-surpassing-singapore

සිංගප්පූරුව අභිබවා යමින් ආසියාවේ වේගවත්ම දත්ත මධ්‍යස්ථාන (data centre) කේන්ද්‍රස්ථානය බවට පත්වූ මැලේසියාව මේ වන විට දැඩි අභියෝගයකට මුහුණ දී සිටී. දත්ත මධ්‍යස්ථාන කර්මාන්තයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟම, ඒ සඳහා අවශ්‍ය වන ජලය, විදුලිය සහ ඉඩම් වැනි භෞතික සම්පත් භාවිතය පිළිබඳව නැඟෙන දැඩි විවේචන සහ සමාජීය ගැටලු මීට ප්‍රධාන හේතුව වී ඇත.

විශේෂයෙන්ම මෙම කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වන ජොහෝර් (Johor) ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින දත්ත මධ්‍යස්ථාන සංකීර්ණයකට එරෙහිව මෑතකදී ඇතිවූ විරෝධතා, රට තුළ මෙවැනි අර්බුදයක් නිර්මාණය වූ පළමු අවස්ථාව ලෙස සටහන් වේ. එමෙන්ම මැලේසියාවේ ධනවත්ම සහ ජනාකීර්ණම ප්‍රාන්තය වන සෙලන්ගෝර් (Selangor) හි ජනතාව මත පැටවෙන මෙම සම්පත් අර්බුදයේ බර පිළිබඳ සංවාදය මේ වන විට දේශපාලනීකරණය වී තිබේ.




මීට වසර දෙකකට පෙර හුදෙක් ගොඩනැඟීමේ ධාරිතාව පිළිබඳව පමණක් අවධානය යොමු කළද, අද වන විට බලශක්ති භාවිතය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීම සහ තිරසර වර්ධනය පිළිබඳව දැඩිව ප්‍රශ්න කෙරෙන බව දත්ත මධ්‍යස්ථාන මෙහෙයුම් ආයතනයක් වන Equinix හි මැලේසියානු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත සේවාවන් බලගැන්වීම සඳහා අතිශය විශාල පරිගණක ධාරිතාවක් අවශ්‍ය වන බැවින්, දැවැන්ත තාක්ෂණික සමාගම් තවදුරටත් ආයෝජන සමඟින් ඉදිරියට පැමිණෙමින් සිටිති. මේ හේතුවෙන්, ප්‍රාදේශීය ප්‍රජාවගේ සහයෝගය ලබාගැනීම සඳහා තිරසරභාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන්ට සිදුව ඇති අතර, මහජන ප්‍රසාදය රැකගැනීම සඳහා රජයන් විසින්ද ආයෝජන අනුමත කිරීමේ ප්‍රමිතීන් දැඩි කරනු ලබමින් පවතී.

ඉහළ වේගයකින් යුත් අන්තර්ජාල පහසුකම් සහ දත්ත පරිභෝජනය සඳහා මිනිසුන් තුළ ඇති කැමැත්ත හේතුවෙන් දත්ත මධ්‍යස්ථාන සඳහා පොදු සමාජයේ ඉහළ අනුමැතියක් පැවතියද, ප්‍රාදේශීය මට්ටමින් ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් දක්නට ලැබෙන බව විශ්ලේෂකයෝ පවසති. ඉහළ යන බලශක්ති මිල ගණන්, අධික ජල පරිභෝජනය සහ දැවැන්ත ගොඩනැඟිලි පිළිබඳව ප්‍රාදේශීය ජනතාව තුළ පවතින්නේ දැඩි අප්‍රසාදයකි. මැලේසියානු මහ බැංකුවට අනුව, මෙගාවොට් 50ක ධාරිතාවකින් යුත් දත්ත මධ්‍යස්ථානයකට දිනකට නිවාස 2,200කට අවශ්‍ය වන තරම් ජලයත්, නිවාස 22,000කට ප්‍රමාණවත් වන විදුලියත් වැය වේ. මේ හේතුවෙන් ජොහෝර් ප්‍රාන්තය පසුගිය වසරේ අගභාගයේදී, ඔලිම්පික් පිහිනුම් තටාක 20ක ධාරිතාවකට සමාන වන පරිදි දිනකට ලීටර් මිලියන 50කට වඩා ජලය පරිභෝජනය කරන දත්ත මධ්‍යස්ථාන කාණ්ඩ දෙකක් සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමට පවා පියවර ගත්තේය.




සිංගප්පූරුව විසින් 2019-2022 කාලය තුළ නව දත්ත මධ්‍යස්ථාන සඳහා පනවා තිබූ තාවකාලික තහනම හේතුවෙන් ඩොලර් බිලියන 35ක අතිවිශාල ආයෝජනයක් ජොහෝර් ප්‍රාන්තය වෙත ගලා ආ අතර, ඇමේසන්, මයික්‍රොසොෆ්ට් මෙන්ම ටෙන්සෙන්ට් සහ අලිබාබා වැනි චීන සමාගම් ද ඒ සඳහා දායක විය. මේ වන විට සෙලන්ගෝර් ප්‍රාන්තය නව යෝජනා මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකළද, ගෝලීය බලශක්ති සහ ජල කාර්යක්ෂමතා ප්‍රමිතීන්ට අනුකූල වන්නේ දැයි දැඩි ලෙස පරීක්ෂා කරමින් පවතී. එමෙන්ම ඒකාබද්ධ පරිපථ සැලසුම්කරණය සහ සිසිලන පද්ධති වැනි ක්ෂේත්‍ර සඳහා සියයට 30ක දේශීය දායකත්වයක් ලබාගැනීමද ප්‍රාන්ත රජය මගින් අනිවාර්ය කර ඇත. 2024 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම දැඩි නියාමනයන් හේතුවෙන් ආයෝජකයන් තායිලන්තය වැනි කලාපයේ වෙනත් රටවල් වෙත යොමුවීමේ ප්‍රවණතාවක් ද දැකගත හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

සම්පත් බෙදාගැනීම පිළිබඳ අර්බුදයට අමතරව, දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු ද ජනතාවගේ දෛනික ජීවිතයට සෘජුවම බලපා ඇත. ඉදිකිරීම් භූමිවලින් නිරන්තරයෙන් මතුවන දූවිලි හේතුවෙන් ප්‍රදේශවාසීන් නඟන මැසිවිලි වලට පිළියමක් ලෙස ඇතැම් දේපළ සංවර්ධන සමාගම් විසින් ප්‍රදේශයේ ජනතාව සඳහා නොමිලේ රථවාහන සේදුම් මධ්‍යස්ථාන පවා පිහිටුවා තිබේ. එහෙත්, ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සහ කඳු පන්තීන්ගේ නිස්කලංක බව අපේක්ෂාවෙන් එම ප්‍රදේශවල පදිංචියට පැමිණි ජනතාවගේ අරමුණු, දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා විශාල වශයෙන් භූමිය එළිපෙහෙළි කිරීමත් සමඟ සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත.