ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක නොමිලේ (Gratis) වීසා ලබා දීමේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, සුදුසුකම් ලබන වන්දනාකරුවන්ට එම පහසුකම තවදුරටත් අඛණ්ඩව හිමිවන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව ඉන්දීය e-visa ක්‍රමවේදය ඔස්සේ මෙන්ම කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන නගරවල ස්ථාපිත ඉන්දීය කොන්සල් අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) හරහා අන්තර්ජාලය ඔස්සේ සාමාන්‍ය ක්‍රමයට අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට පවතී.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ සහිතව බෞද්ධ පූජනීය ස්ථාන ඇතුළු වන්දනා චාරිකා සඳහා පුද්ගලයින් 10 දෙනෙකුට නොඅඩු කණ්ඩායම් වශයෙන් එක්වන ශ්‍රී ලාංකිකයන්ට මෙම නොමිලේ වීසා පහසුකම හිමි වේ. වීසා සේවා සපයන ආයතනය වෙනස් වීම හේතුවෙන් මෙම ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, නව සේවා සම්පාදකයා රාජකාරි ආරම්භ කිරීමත් සමඟ එම නොමිලේ වීසා නිකුත් කිරීමේ සේවාව නැවත සක්‍රීය කර ඇත.
ඉන්දීය නව රෙගුලාසිවලට අනුකූලව වන්දනාකරුවන් කණ්ඩායම් වශයෙන් හෝ තනි තනිව ICAC මධ්‍යස්ථාන වෙත පැමිණ ජෛවමිතික තොරතුරු ලබා දීම අනිවාර්ය කර තිබේ. කෙසේ වෙතත් මෙම ජෛවමිතික තොරතුරු ලබා දීමේ අවශ්‍යතාව බලපාන්නේ වයස අවුරුදු 12 ත් 70 ත් අතර පසුවන අයදුම්කරුවන්ට පමණි. මීට අමතරව, ජෛවමිතික තොරතුරු සැපයීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටින කාලය අවම කෙරෙන විශේෂ ඉක්මන් සේවාවක් ද හඳුන්වා දී ඇත.
මෙම අනුමත වීසා ක්‍රමවේදය යටතේ අයදුම් කරනු ලබන වන්දනාකරුවන්ගෙන් කිසිදු වීසා ගාස්තුවක් අයකිරීමක් සිදු නොවන නමුත්, අයදුම්පත් භාරගැනීම සහ අදාළ සේවාවන් සැපයීම වෙනුවෙන් පමණක් අදාළ ICAC මධ්‍යස්ථානය වෙත රුපියල් 1,855 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතු බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.