hormuz-closes---again-intense-conflicts

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඇමෙරිකානු බලධාරීන් ඉරානය ඉලක්ක කර ගනිමින් නව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, එරට ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මෙම වැදගත් ජාත්‍යන්තර මුහුදු මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.

අනුමත නාවික මාර්ගයෙන් බැහැරව සහ සන්නිවේදන පද්ධති ක්‍රියා විරහිත කර ධාවනය වූ අදාළ නෞකාවට අනතුරු ඇඟවීමේ වෙඩි තැබීම් සිදු කර නතර කළ බව ඉරානය පවසන අතර, සයිප්‍රස් ධජය සහිත මෙම නෞකාවට ඉරාන බලකායන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය (Centcom) මෙම සතියේ තමන් එල්ල කළ තෙවන ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කළ බව තහවුරු කරයි.




ඉරාන ප්‍රහාරය හේතුවෙන් 'MV GFS Galaxy' නැමති අදාළ වාණිජ නෞකාවේ එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ඇති අතර, එයට ඉදිරියට ගමන් කිරීමට නොහැකි වී තිබේ. එහි සිටි සිවිල් කාර්ය මණ්ඩලයේ එක් අයෙකු අතුරුදහන් වී ඇති බවත්, සෙසු පිරිසට නෞකාව අතහැර ජීවිතාරක්ෂක බෝට්ටුවකට නැගීමට සිදු වූ බවත් බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් අංශය (UKMTO) හමුදා බලධාරීන් උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත. පෙර ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම් පැවරීමෙන් පසුවද අවබෝධතා ගිවිසුමට අනුකූලව කටයුතු කිරීමට ඉරානයට අවස්ථාව ලැබුණත් ඔවුන් එය නැවතත් මගහැර ඇති බව ඇමෙරිකානු බලධාරීන් පවසයි. මේ අතර, ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානය වැරදි තීරණයක් ගත් බවත් දැන් ඔවුන්ට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුව ඇති බවත්ය.

මෙම තත්ත්වය හටගත්තේ ඔමාන මුහුදු සීමාවේ පිහිටි ඇමෙරිකාව නිර්දේශ කළ නාවික මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කළ වාණිජ ටැංකි නැව් තුනකට ඉරානයෙන් ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම සතිය මුලදී හටගත් නොසන්සුන්තා මාලාවක අඛණ්ඩ පියවරක් වශයෙනි. ඉරානය දිගින් දිගටම අවධාරණය කරන්නේ තම මුහුදු සීමාව හරහා වැටී ඇති වෙනත් මාර්ගයක් පමණක් ආරක්ෂිත වන බවයි. මෙම ගැටුම් හේතුවෙන් ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් 115 දෙනෙකු තුවාල ලැබූ බව ඉරාන නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර, ඉරානය ද ඊට ප්‍රතිචාර වශයෙන් පර්සියානු බොක්ක කලාපයේ සිටින ඇමෙරිකානු මිත්‍ර පාර්ශවයන් වෙත ප්‍රහාර එල්ල කර තිබුණි.




පවතින වාතාවරණය හමුවේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන ප්‍රහාර හේතුවෙන් සටන් විරාමය අවසන් වී ඇති බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් ඇමෙරිකාව ගිවිසුම් උල්ලංඝනය කරන බවට චෝදනා කරනු ලැබුවද, සාකච්ඡා තවදුරටත් ඉදිරියට යන බවත් මැදිහත්කරුවන් එම ක්‍රියාවලිය නැවත පණ ගැන්වීමට උත්සාහ කරන බවත් ට්‍රම්ප් සඳහන් කර ඇත. ටැංකි නැව් වෙත එල්ල වූ ප්‍රහාරයන් අභ්‍යන්තරයේ සිටි නොමඟ ගිය කල්ලියකගේ වැරදීමක් බව ඉරානය ඇමෙරිකානු නිලධාරීන්ට පවසා ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. එසේ වුවද, හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් වාණිජ නැව් වෙත ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙසත් ඇමෙරිකාව මැදිහත්කරුවන් මාර්ගයෙන් ඉරානයෙන් ඉල්ලා තිබේ.

මුහුදු මාර්ගය වසා දැමීමට ඉරානය ගත් තීරණය, එරට නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා ඛමේනි (Ayatollah Mojtaba Khamenei) බලයට පත්වීමෙන් පසු සිදු කළ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය හරහා පළිගැනීමට කළ ඉල්ලීමත් සමඟ සමපාත වේ. ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේ පළමු දිනය වූ පෙබරවාරි 28 වනදා එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහුගේ පියා සහ හිටපු නායකයා වූ අලි ඛමේනි ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහුගේ දේහය පසුගිය සිකුරාදා මෂාද් නගරයේදී මිහිදන් කෙරුණි. පළිගැනීම ජාතියේ කැමැත්ත බව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කළ නව උත්තරීතර නායකයා, තමන් ඇතුළු නිලධාරීන් සිටියත් නැතත් නායකයාගේ සහ සෙසු සියලු විරුවන්ගේ ලේ වෙනුවෙන් අපරාධකාරී ඝාතකයන්ගෙන් පළිගන්නා බවට සපථ කර ඇත.



මෂාද් නුවර පැවති අවමංගල්‍ය උත්සවවලට සහභාගී වූ බොහෝ ඉරාන වැසියන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කරන ලෙස ඉල්ලා සිටින පුවරු ප්‍රදර්ශනය කර තිබුණි. එවැනි ඕනෑම සැලසුමකට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවට ට්‍රම්ප් ද ඊට පෙර අනතුරු අඟවා තිබුණි. ඉරානය විසින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ නව සැලසුමක් සකස් කර ඇති බවට ඊශ්‍රායලය වොෂින්ටනය වෙත බුද්ධි තොරතුරු ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇතුළු මාධ්‍ය වාර්තා කළද, ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කරමින් තමන් දිගු කලක සිට ඉරානයේ ඝාතන ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත සමඟ පැවසීය.

hormuz-closes---again-intense-conflicts

hormuz-closes---again-intense-conflicts

hormuz-closes---again-intense-conflicts