
1969 වසරේදී ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුම අතරතුර නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් සඳ මත සදහටම සිරවීමෙන් ගලවා ගත් ඓතිහාසික ෆෙල්ට්-ටිප් පෑන (felt-tip pen) නිව්යෝර්ක් නුවර සදබීස් (Sotheby's) වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් 857,600කට අලෙවි වී තිබේ. ඩොලර් 800,000ත් මිලියන 1.2ත් අතර මිලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කළ මෙම පෑන සහ කැඩී ගිය විදුලි පරිපථ ස්විචයක කොටසක් මෙලෙස වෙන්දේසි කෙරුණු අතර, ලංසු තබන්නන් පස් දෙනෙකුගේ දැඩි තරගයකින් අනතුරුව ජයග්‍රාහකයා විසින් එය මිලදී ගෙන ඇත.
මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ ද්විත්වයම බස් ඕල්ඩ්‍රින්ගේ පෞද්ගලික එකතුවට අයත් ඒවා වීම විශේෂත්වයකි.මෙම අපූරු සිදුවීම වාර්තා වන්නේ සඳ මත පා තැබූ පළමු මිනිසුන් දෙදෙනා සිය ඓතිහාසික මෙහෙයුම අවසන් කර යළි පෘථිවිය බලා පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදීය. ඔවුන් සඳ මත ඇවිදීමෙන් පසු නිදාගැනීමට සූදානම් වන විට, කුටියේ බිම වැටී තිබූ කුඩා ස්විචයක කොටසක් ඕල්ඩ්‍රින්ගේ නෙත ගැටී ඇත. එය චන්ද්‍ර මොඩියුලයේ ආරෝහණ එන්ජිමට විදුලිය සපයන ප්‍රධාන පරිපථ බිඳිනයක (circuit breaker) කොටසක් බව පසුව අනාවරණය විය. ඕල්ඩ්‍රින් සිය 2009 ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇති පරිදි, තමන් පැළඳ සිටි බරැති පිටුපස බෑගය (backpack) අහම්බෙන් ගැටීමෙන් මෙම ස්විචය කැඩී යන්නට ඇතැයි ඔහු විශ්වාස කරයි.
මෙම අර්බුදය සම්බන්ධයෙන් පෘථිවියේ පිහිටි මෙහෙයුම් පාලක මැදිරිය දැනුවත් කළද, පසුදා උදෑසන වන විටත් ඔවුන්ට ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට හෝ වෙනත් මාර්ගයකින් විදුලිය සැපයීමට හැකි වී නැත. කෙසේ වෙතත්, ලෝහමය නොවන කුඩා උපකරණයක් භාවිතයෙන් මෙම පරිපථය ක්‍රියාත්මක කළ හැකි බව ඕල්ඩ්‍රින්ට කල්පනා වී තිබේ. ඒ අනුව, තමා සතුව තිබූ පෞද්ගලික කට්ටලයේ වූ ෆෙල්ට්-ටිප් පෑනක් ගත් ඔහු, ඉතා ප්‍රවේශමෙන් එහි තුඩ පරිපථ බිඳිනය තුළට ඇතුළු කර ඇත. ඔහුගේ එම නිර්භීත සහ ක්ෂණික තීරණය සාර්ථක වූ අතර, පරිපථය යළි ක්‍රියාත්මක වී එන්ජිම පණ ගැන්වීමෙන් පසු ඔවුහු නිරුපද්‍රිතව යළි පෘථිවිය බලා පැමිණියහ.