
දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ වසා දමා ඇති විහාර මළුවක පිහිටි කුලී වෙළඳසල් දෙකක පදිංචිකරුවන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 14 වැනිදා රාත්‍රියේ සිදු වූ මෙම දරුණු ගැටුමෙන් මියගිය තැනැත්තාගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා මේ වන විට දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දඹුල්ල පොලිසිය ප්‍රකාශ කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සාහසික ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යාබද කඩ කාමරයේ ලැගුම් ගෙන සිටි තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සිද්ධිය සිදු වූ දින රාත්‍රියේ මියගිය සැමියා සහ තුවාල ලැබූ බිරිඳ අතර පැය ගණනාවක් තිස්සේ දිගින් දිගටම වාදවිවාද සහ බහින්බස් වීම් සිදුව ඇති බවයි. එම අවස්ථාවේදී අසල කාමරයේ සිටි පුද්ගලයා පැමිණ මෙම යුවළට දරුණු ලෙස පහර දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර ඇත. පොලිසිය පෙන්වා දෙන්නේ විහාර හන්දිය ප්‍රදේශයේ පිහිටි මෙම වෙළඳසල් සංකීර්ණය වසා දැමීමෙන් පසු එහි හිමිකරුවන් විසින් ඒවා බාහිර පුද්ගලයන්ට කුලියට දී ඇති අතර, මේ වන විට එම සමස්ත පරිශ්‍රයම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවයි.