ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට සහ මෑතකදී මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ඛේදනීය ගැටුම්කාරී තත්ත්වයට කඩිනම් විසඳුමක් සෙවීම සඳහා, මහනුවර පිහිටි ඓතිහාසික පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය නැවත වරක් බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ.
මේ සඳහා වන 2026 ජූලි මස 08 වැනි බදාදා දිනැති අංක 2496/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර ඇත. බන්ධනාගාර ආඥාපනතේ (54 වැනි පරිච්ඡේදය) 2 වැනි වගන්තිය යටතේ විෂයභාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන තිබෙන අතර, සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන පරිදි සීමාවන් නියම කරමින් මෙම පැරණි බෝගම්බර පරිශ්‍රය බන්ධනාගාර ආඥාපනතේ අරමුණු වෙනුවෙන් නිල වශයෙන් ක්‍රියාත්මක වනු ඇත.
මේ අතර, මීට සමගාමීව ගාල්ල මහමෝදර ප්‍රදේශයේ ද නව බන්ධනාගාරයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව, බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන පරිදි 2026 ජූලි මස 07 වැනි අඟහරුවාදා දිනැති අංක 2496/10 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
වසර 138 ක දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මකව පැවති මහනුවර ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය, මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූ බන්ධනාගාර දෙකෙන් එකක් ලෙස ද ඉතිහාසයට එක්ව තිබේ. අක්කර 13 ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙම බන්ධනාගාරය ඉදිකර ඇත්තේ එංගලන්තයේ එඩිම්බරෝ වික්ටෝරියා මහ රැජිණගේ ඔටුන්නෙහි ආකෘතියට සහ ප්‍රංශයේ පැරිස් බැස්ටිල් කොටුවට සමාන වන අයුරිනි. එහි රඳවා සිටි රැඳවියන් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව 2014 ජනවාරි මස 01 වන දින සිට මෙම බන්ධනාගාරය වසා දැමුණු අතර, පසුව එය විවෘතව පැවතියේ මහජන ප්‍රදර්ශනය සඳහා පමණි.
මෙම බෝගම්බර පරිශ්‍රය සම්බන්ධයෙන් මීට පෙර බලයට පත් වූ රජයන් විවිධ වාණිජ සහ සංචාරක සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ 2024 වසරේදී එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර තිබුණේ, බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇති බවයි. එහි පෞරාණිකත්වය සහ යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය සුරකිමින්, ප්‍රධාන බන්ධනාගාර පරිශ්‍රය සාප්පු සංකීර්ණ, ආහාර අලෙවිසැල්, කෞතුකාගාරයක් සහ සංචාරක හෝටලයක් ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට එවකට සැලසුම් කර තිබුණි.
ඉන් අනතුරුව බලයට පත් වූ වත්මන් අනුර කුමාර දිසානායක මහතාගේ රජය යටතේ ද මෙම පරිශ්‍රය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට මූලිකව තීරණය කර තිබිණි. ඒ අනුව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2025 ජුනි 03 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ මෙම පරිශ්‍රයේ සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමටත්, මෙම ඉඩම වසර 50ක බදු පදනම මත සංවර්ධන ව්‍යාපෘතියකට පැවරීමටත් අනුමැතිය හිමි විය.
කෙසේ වෙතත්, එවැනි වාණිජ සහ සංචාරක ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීනව සැලසුම් කර තිබූ ඓතිහාසික බෝගම්බර පරිශ්‍රය, මෙලෙස හදිසියේම යළිත් බන්ධනාගාරයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට රජයට සිදුව ඇත. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ලේ වැකි ගැතුම් හේතුවෙන් මතු වූ දැඩි අර්බුදකාරී තත්ත්වය සහ දිවයින පුරා බන්ධනාගාර පද්ධතියේ පවතින උග්‍ර තදබදය කඩිනමින් පාලනය කිරීමේ අත්‍යවශ්‍යතාව මීට හේතු වී තිබේ.