gammanpilas-statement-criticizing-a-court-order-is-controversial

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහසක් අධිකරණයට අපහාස කරන එකක් වන බවට විවේචන පළවෙමින් පවතී. ඊයේ (2) මාධ්‍ය හමුවක් පවත්වමින් සුරේෂ් සලේ මහතාට පරිගණක හා උපාංග වල රහස් මුරපද ලබාදීමට අධිකරණය ලබාදී තිබූ නියෝගය ගම්මංපිල මහතා විවේචනයට ලක් කර තිබුනේ මෙසේය.




“කොටුව මහේස්ත්‍රාත් තමන්ගේ ජංගම දුරකථනයේත් පරිගණකයේත් මුරපද රහස් පොලිසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලේ මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමඟ එකඟ වෙන්නේ නෑ. මොකද සමස්ත විශ්වයම පිළිගත්ත මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන් සහාය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ කියන එක.. මෙතෙන්දි, සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද පොලිසියට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි, අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහය දෙන්න කිසිම බැඳීමක් නෑ.

දෙවෙනි හේතුව තමයි, මුරපදය ලබාදෙන්න කියලා කවුරුහරි සුරේෂ් සලේ මැතිතුමාට බලපෑමක් කරනවා නම්, බලහත්කාරයක් කරනවා නම් එහෙම බලපෑම් කරන්න බෑ. බලහත්කාරකම් කරන්න බෑ. ඒක අයුතු බලපෑමක් වෙනවා. මේ වන විට නලින්ද ජයතිස්ස ඇමතිතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය හරහා ඒ අයුතු බලපෑම කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම, මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි මේ ජංගම දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තමන්ගේ තොරතුරුකරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. මම දැක්කා සිරිල් ගාමිණී පියතුමත් ප්‍රකාශ කරනවා ඔහු දැන් විශ්‍රාමිකයි, විශ්‍රාම ගන්නකොට බුද්ධි තොරතුරු ආයතනයට භාර දී පැමිණිය යුතුයි කියලා.. දන්න තරම තමයි. බුද්ධි තොරතුරු භාර දිය යුතුයි. හැබැයි බුද්ධි තොරතුරු දුන්නා තොරතුරුකරුවන් පිළිබඳ විස්තර තියෙන්නේ අදාළ නිලධාරියා ගාව පමණයි.




ඒවා හෙළිදරව් වීම අතිශයින්ම සංවේදීයි. තමන්ගේ ජීවිතය පරදුවට තබා සලේ මැතිතුමා මේ මුරපදය රැකගන්න හතරවෙනි හේතුව අතිශයින්ම වැදගත්. ඒ තමයි මීට පෙර බුද්ධි තොරතුරු රහස් පොලිසිය අතට පත්වීමෙන් මහා විනාශයන් වීමේ තිත්ත අත්දැකීම් අපේ ඉතිහාසය පුරා ලියවිලා තිබෙනවා. එයින් වඩාත්ම සමාජ ආන්දෝලනය ඇති කරපු කාරණය තමයි 2002 සිදුවුණු මිලේනියම් සිටි පාවාදීම ඒ මහා පාවාදීමෙන් පස්සේ අපේ බුද්ධි අංශ සීසීකඩ ගියා. ඉතින් මෙවැනි අවාසනාවන්ත තත්වයක් මත මේ කාරණා මත සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද ලබා නොදීමට සාධාරණ හේතු තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ. මා හිතනවා මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරමින් නමුත් අධිකරණ තීන්දුවට එකඟ නොවන නිසා සලේ මැතිතුමාගේ නීතිඥවරුන් මෙම නියෝගයට එරෙහිව අභියාචනා කරන්න කටයුතු කරාවි කියලා.”