දේශීය වශයෙන් පවතින ඉහළ මෙහෙයුම් පිරිවැය සහ ජාත්‍යන්තර වෙළඳපොළේ වෙනස්වීම් සැලකිල්ලට ගනිමින්, එළඹෙන ජූලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) එකඟතාවකට පැමිණ තිබේ. මේ අනුව, දැනට පවතින රුපියල් 30ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා රුපියල් 4කින් ඉහළ යන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරයි.
මීට අමතරව, කිලෝමීටර 100 දක්වා වූ කෙටි සහ මධ්‍යම දුර ගමන් වාර සඳහා වන සාමාන්‍ය බස් ගාස්තු සියයට 12කින් ඉහළ දැමීමටත්, කිලෝමීටර 100 ඉක්මවන දිගු දුර ධාවන කටයුතු සඳහා වන ගාස්තු සියයට 20කින් ඉහළ නැංවීමටත් මෙහිදී පාර්ශවයන් එකඟ වී ඇත.සාමාන්‍ය බස් රථ සේවාවලට අමතරව සුඛෝපභෝගී ප්‍රවාහන සේවා සඳහා ද මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන අතර, එහිදී කිලෝමීටර 100ට වඩා අඩු දුරක් ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සඳහා සියයට 12ක ගාස්තු වැඩිවීමක් සිදු කිරීමට නියමිතය. එමෙන්ම කිලෝමීටර 100 සීමාව ඉක්මවා දිවෙන සුඛෝපභෝගී බස් රථ සේවා සඳහා වන ගාස්තු සියයට 15කින් ඉහළ දැමීමට ද අදාළ බලධාරීන් සහ බස් සංගම් එකඟත්වය පළ කර තිබේ.
වාර්ෂික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුකූලව 2026 ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කෙරෙන මෙම බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව ඇත. මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ යාම, ඉහළ යන මෙහෙයුම් පිරිවැය, බස් රථ අමතර කොටස් මිල කෙරෙහි සෘජුවම බලපාන ඇමරිකානු ඩොලරයේ නිරන්තර උච්චාවචනයන් මෙන්ම අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය සහ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම යටතේ බස් රථ ධාවනයට එක් කිරීම වැනි කරුණු මෙම ගාස්තු සංශෝධනය කෙරෙහි මූලික වශයෙන් බලපා තිබේ.
මඟී ජනතාව වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව සහතික කිරීම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම උදෙසා, දැනට පවතින බස් ගාස්තු සූත්‍රය සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය. ඒ අනුව, පසුගිය ජුනි 30 වැනිදා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන මිල ගැලපීම් ද ඇතුළත් කරමින් එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වෙත යොමු කර ඇති අතර, පසුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.