ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී සිදු වූ වෙඩි වැදීමකින් අද (17) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද පෙරවරු 7.00 ට පමණ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරියා සතු ගිනි අවිය ඉල්ලාගෙන මෙම වෙඩි තබා ගැනීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.හිස ප්‍රදේශයට වෙඩි පහර වැදී බරපතළ තත්ත්වයෙන් පසු වූ ඒ මහතාව වහාම මුල්ලේරියාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම මරණය ගිනි අවියකින් වෙඩි තබාගෙන සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් බවට පොලිසිය දැනට සැක පළ කරන අතර, සිද්ධිය සිදුවූ ආකාරය සහ ඊට හේතුව සෙවීම සඳහා මාලඹේ පොලිසිය මඟින් මේ වන විට පුළුල් විමර්ශනයක් අරඹා ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ සී.ඩී. වික්‍රමරත්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් දිනා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව 1986 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඒ මහතා, දශක තුනකට අධික කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් සුවිශේෂී වෘත්තීය මෙහෙවරක නිරත විය. සිය සේවා කාලය තුළ ජනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගත් ඔහු, බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මෙන්ම ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් ද ජාත්‍යන්තර විශේෂ පුහුණු පාඨමාලා සාර්ථකව නිම කළ දක්ෂ නිලධාරියෙකු ලෙස කැපී පෙනුණි.
පොලිස්පති ධුරයට පත්වීමට ප්‍රථම දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළ ඒ මහතා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබීය. ඉන්පසුව 2020 නොවැම්බර් මස 25 වන දින මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස ස්ථිර තනතුරෙහි රාජකාරි භාරගත් සී.ඩී. වික්‍රමරත්න මහතා, සේවා දිගු කිහිපයක් ද ලබාගනිමින් 2023 වසරේ නොවැම්බර් මස 25 වන දින පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීය.
