මැදපෙරදිග කලාපයේ හදිසියේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ගුවන් අවකාශ වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් පැයකට අධික කාලයක් ඉහළ අහසේ රැඳී සිටීමට සිදුවීමේ පුවතක් කටුනායක ගුවන්තොටුපොළෙන් වාර්තා වේ. කුවේට් සහ සවුදි අරාබියේ දමාම් බලා පියාසර කළ මෙම යානා දෙක, අදාළ බලධාරීන් විසින් ගුවන් අවකාශය නැවත විවෘත කරන තෙක් එම කලාපයට ආසන්න අහසේ ආරක්ෂිතව පියාසර කරවා පසුව ගමනාන්ත වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත්ව ඇත.
කටුනායක ගුවන්තොටුපොළෙන් පසුගිය 14 වනදා පස්වරු 5.10 ට කුවේට් බලා පිටත්ව ගිය යූ.එල්. 229 දරන යානය සහ එදිනම රාත්‍රී 6.36 ට දමාම් බලා පිටත්ව ගිය යූ.එල්. 253 දරන යානය මෙලෙස ප්‍රසංගයට මුහුණ දී තිබේ. ඒ-321 නියෝ වර්ගයට අයත් මෙම ගුවන් යානා දෙක අදාළ කලාපයට ළඟාවන අවස්ථාවේදී ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුවේටය සහ සවුදි අරාබිය සිය ගුවන් අවකාශයන් වසා දැමීමට කටයුතු කර ඇත.
ගුවන් අවකාශ වසා දමන අවස්ථාව වන විට මෙම යානා දෙකට නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොතිබීම හේතුවෙන්, නියමුවන් විසින් විකල්ප පියවරක් ලෙස එම කලාපය ආසන්නයේ ඉහළ අහසේ පැයයි විනාඩි 10 ක කාලයක් යානා ධාවනය කරවමින් රැඳී සිටීමට තීරණය කර තිබේ. පසුව ගුවන් අවකාශය නැවත විවෘත කළ වහාම ක්‍රියාත්මක වූ නියමුවන් එම ගුවන් තොටුපොළවල් වෙත යානා සුරක්ෂිතව ගොඩබැස්වීමට කටයුතු කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා තහවුරු කළේය.
මෙලෙස බාධාවන්ට ලක්වූ ගුවන් යානා දෙක ඊයේ (15) උදෑසන වන විට නැවතත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ හටගත් මෙම නොසන්සුන්කාරී සහ යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් යානාවලට අමතරව තවත් විදේශීය ගුවන් යානා රැසකටද ගමනාන්ත වෙත ගොඩබැසීමට නොහැකිව මෙලෙස ඉහළ අහසේ රැඳී සිටීමට සිදුව ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.