ජනාධිපති ලේකම් කාර්යාලය සතු රජයේ වාහන සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියකට අදාළව, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ නමැත්තා එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (15) නියෝග කළේය. ජාතික නිදහස් පෙරමුණ වෙත ලබා දී තිබූ රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 9ක මූල්‍ය අලාභයක් සිදු කිරීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙම සිද්ධියට අදාළ විමර්ශන මඟින් සරත් වීරවංශ මහතා සැකකරුවෙකු ලෙස නම් කළ අවස්ථාවේදීම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගත් මහේස්ත්‍රාත්වරයා, එම නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසද නියම කළේය. මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරමින් මොහු සැකකරුවෙකු වශයෙන් නම් කළ අවස්ථාවේදී, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබූ බවද අනාවරණය වේ.
මෙම රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් මේ වන විට අධිකරණය මඟින් ඇප මත මුදාහැර සිටිති.