රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය ද මුහුණ දී ඇති දැඩි ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන්, අත්‍යවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය පෞද්ගලික වෙළෙඳුන්ගෙන් අධික මිලකට මිලදී ගැනීමට රෝගී ජනතාවට සිදුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. වත්මන් වෙළඳපොළ තුළ පවතින මෙම ඖෂධ හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් ඖෂධ වර්ග ඒවායේ සාමාන්‍ය වටිනාකම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මිලකට අලෙවි කරන බව එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි.
මේ සඳහා උදාහරණයක් දක්වන වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දීය රුපියල් 150ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 600ක් පමණ විය යුතු 'ලිග්නොකේන්' (lignocaine) අඩංගු නිර්වින්දන ආලේපනයක් මේ වන විට රුපියල් 2,000කට ආසන්න මුදලකට විකිණීමට තබා ඇති බවයි. වෙළඳපොළ තුළ නිර්මාණය වී ඇති මෙම හිඟය හේතුවෙන් පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන්ට අසාධාරණ ලෙස මිල ඉහළ නැංවීමට අවස්ථාව ලැබී තිබෙන බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවරක් හෝ ප්‍රමාණවත් නියාමනයක් සිදු නොකරන බවටත් හෙතෙම චෝදනා කරයි.
මීට අමතරව, නිසි ලෙස ලියාපදිංචි නොකළ විවිධ ඖෂධ වර්ග නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන ඒම තවදුරටත් සිදුවන බව සභාපතිවරයා අනාවරණය කළේය. ශ්‍රී ලංකා රේගුව සහ නාවික හමුදාව විසින් මෑතකදී මෙලෙස නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ තොග කිහිපයක්ම වැටලීම් සිදුකර අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සිහිපත් කර සිටියි. පවතින ඖෂධ හිඟය මඟහරවා ගැනීමට සහ නියාමන ක්‍රියාවලිය විධිමත් කිරීමට රජය කඩිනමින් මැදිහත් නොවුවහොත්, ඉදිරියේදී ජනතාවට ප්‍රමිතියෙන් තොර ඖෂධ ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමට සිදුවනු ඇති බවත්, එමඟින් රෝගීන්ගේ ජීවිත දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බවත් වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.