a-gang-of-smugglers-who-were-shot-by-the-police-came-and-rescued-them

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන 'කරන්දෙණිය සුද්දා' නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන යාමේ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගිය ජූනි 30 වැනිදා සන්ධ්‍යාවේ කහදූව රෑකඩහේන ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී 'දොළ ඉහළ රංග' හෙවත් චමිල් නැමැති සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා සිටියදී 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙලෙස බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ.




ඇල්පිටිය මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සදුෂාන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත. මෙම වැටලීම සඳහා කොස්තාපල්වරුන් වන ප්‍රභාත් (89514), ගයාශාන් (104352) සහ ලක්රුවන් (106914) යන මහත්වරුන් සහභාගී වී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1205 ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ පිහියකින් උප පොලිස් පරීක්ෂකවරයාට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර ඇත. එහිදී නිලධාරියා විසින් අහසට වෙඩි තබා සැකකරු මෙල්ල කර එක් අතකට මාංචු දමා ඇති නමුත්, අනෙක් අතටද මාංචු දැමීමට යාමේදී සැකකරු විසින් උප පොලිස් පරීක්ෂකවරයාගේ අතකට පිහියෙන් ඇන තුවාල සිදු කර තිබේ. යළිත් වරක් පිහි ප්‍රහාරයක් එල්ල කිරීමට සැකකරු උත්සාහ කිරීමේදී, තමන් සතු රාජකාරි පිස්තෝලයෙන් ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂකවරයා සැකකරුගේ පිහිය තිබූ දකුණු අත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.




වෙඩි වැදීමෙන් සැකකරු තුවාල ලබා සිටි මොහොතේ ඔහුගේ සහායකයින් යැයි සැකකෙරෙන දොළොස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් එම ස්ථානයට කඩා වැදී ඇත. ඔවුන් දැඩි කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට දැඩි ලෙස බාධා පමුණුවා, තුවාල ලබා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන පලා ගොස් තිබේ. නිලධාරීන් විසින් ඔවුන් පසුපස හඹා ගියද සැකකරුවන් නීතියේ රැහැනින් මිදී පලාගොස් ඇති අතර, සැකකරු සන්තකයේ තිබී බිම වැටුණු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.

මෙම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇල්පිටිය මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සදුෂාන් මහතා දැනට ඇල්පිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. පොලිස් විමර්ශනවලට අනුව පලාගිය 'දොළ ඉහළ රංග' නැමැති මෙම සැකකරු මීට පෙර 2024 වසරේ මාර්තු 11 වැනිදා පිටිගල පොලිස් වසමේදී පුද්ගල ඝාතන දෙකකට සහ තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දීමේ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුව ඇප මත මුදාහැර සිටි අයෙකි.