dont-make-me-sit-on-archuna-gavin---gajendrakumar-ponnambalam

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ තමන්ට යාබදව අසුන්ගෙන සිටින ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගෙන් එල්ල වන අඛණ්ඩ බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් හේතුවෙන් ඔහුගේ අසුන වහාම වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.




කථානායකවරයා වෙත ජූනි 23 වැනිදා ලිපියක් යොමු කරමින් පොන්නම්බලම් මහතා පෙන්වා දී ඇත්තේ තමන් අසල අසුනේ සිටින රාමනාදන් මන්ත්‍රීවරයා තමන්ට නිරන්තරයෙන් වාචිකව අපහාස කරන බවයි. මීට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද තමන්ට ප්‍රචණ්ඩත්වයෙන් තර්ජනය කරමින්, නිතිපතා අවමන් සහගත වදන් භාවිත කරන බවට ද ඔහු චෝදනා කර ඇත.

පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රාමනාදන් මන්ත්‍රීවරයාට යාබදව අසුන් ගැනීම තවදුරටත් කළ නොහැකි මට්ටමට කරුණු කාරණා බරපතළ වී ඇති බව පවසන පොන්නම්බලම් මහතා, එමගින් තමන්ගේ මහජන නියෝජිත රාජකාරි කටයුතු නිසි පරිදි ඉටු කිරීමට ඇති හැකියාවට දැඩි බාධාවක් මතුව ඇති බව ද අවධාරණය කරයි.




ස්වාධීන කණ්ඩායමකින් පළමු වරට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු වන රාමනාදන් මහතාට, පිළිගත් දේශපාලන පක්ෂවල නායකයින් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතර අසුනක් වෙන් කර දීම සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනි බව ද ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව, ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනුවෙන් පවතින සම්ප්‍රදායික අසුන් පැනවීමේ ක්‍රමවේදයන් සැලකිල්ලට ගනිමින්, රාමනාදන් මන්ත්‍රීවරයාගේ අසුන සභා ගර්භයේ වඩාත් වම්පස කොටසට වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.