the-property-of-the-grandpas-big-lady-is-prohibited

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක ලෙස හඳුනාගෙන ඇති ‘ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනා’ නොහොත් මොහොමඩ් ෆවුසි හිදායා නැමැත්තියට අයත් රුපියල් කෝටි 5.7කට අධික වටිනාකමකින් යුත් දේපළ කිහිපයක් තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම විශේෂ නීතිමය පියවර ගෙන තිබේ.

මෙම වත්කම් සියල්ලම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල්වලින් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලදී සැක කෙරේ.




උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය සහ ඇයගේ සමීපතම සගයන් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මහා පරිමාණයෙන් වත්කම් සහ දේපළ රැස්කරන බවට පොලිස්පතිවරයා වෙත රහසිගත පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන්, 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ම/උ බි 5241/24 අංකය යටතේ කරුණු වාර්තා කර තිබේ.

මෙහිදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උස්වැටකෙයියාව, පුබුදුගම ප්‍රදේශයේ පර්චස් 20ක භූමි භාගයක ඉදිකර ඇති රුපියල් කෝටි 5ක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් මෙලෙස තහනමට ලක්ව ඇත. මීට අමතරව එම කොට්ඨාසයේම නුගපේ ප්‍රදේශයේ පිහිටි පර්චස් 9.5ක ඉඩමක්, එහි ඇති නිවස සහ කඩකාමරයක් ද නීති විරෝධී ආදායම් යොදවා අත්පත් කරගත් දේපළ ලෙස හඳුනාගෙන තිබේ. එම දෙවන දේපළෙහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වන බව විමර්ශනවලදී හෙළි වී ඇත.




මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තියට ප්‍රකාරව සහකාර පොලිස් අධිකාරී ජනක විතානගේ මහතා විසින් මෙම දේපළ යුගලය දින හතක කාලසීමාවක් සඳහා ක්‍රියා විරහිත කිරීමට (තහනම් කිරීමට) නියෝග නිකුත් කර තිබේ. එමෙන්ම, පනතේ 8(2) වගන්තිය ප්‍රකාරව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා 8(1) වගන්තිය යටතේ අධිකරණයෙන් ද විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත. වත්කම් තහනමට ලක්වූ ‘ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනා’ ඇතුළු සැකකරුවන් මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගෙන වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ.