ඇමරිකාවේ ඩලාස් නුවරදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තීරණාත්මක තරගයකින් පෘතුගාලය පරදා ගෝල 1-0 ක තියුණු ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් විය. තරගයේ අවසාන භාගයේදී ස්පාඤ්ඤ කණ්ඩායමේ මයිකල් මෙරිනෝ වාර්තා කළ සුවිශේෂී ගෝලයත් සමඟින්, සමස්ත පාපන්දු ලෝකයක්ම තමන් වෙත ආකර්ෂණය කරගත් පෘතුගාල කණ්ඩායමේ සුපිරි නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය නිමාවට පත්විය.
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් ස්පාඤ්ඤ කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.ලෝක කුසලාන පාපන්දු තරගාවලි 6 ක් නියෝජනය කරමින්, ඒ සෑම තරගාවලියකදීම අවම වශයෙන් එක් ගෝලයක් හෝ ලබාගනිමින් සුවිශේෂී වාර්තාවකට හිමිකම් කී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, මෙවර ලැබූ පරාජයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව කඳුළු පිරි දෑසින් යුතුව ලෝක කුසලාන පිටියෙන් සමුගත්තේය. අනෙක් අතට, ස්පාඤ්ඤය ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයකට පිවිසීමට සමත් වූයේ වසර 16 කට පසුව වීම විශේෂත්වයකි. මීට පෙර ඔවුන් 2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී මෙලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර, එහිදී ඔවුන් ලෝක කුසලාන ශූරතාවද තමන් සතු කරගත්තේය.
දෙපිලටම කිසිදු ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් තරගයේ පළමු අර්ධය මෙන්ම නියමිත විනාඩි 90 ක කාලය නිමාවන විටත් ලකුණු තත්ත්වය 0-0 ක් ලෙසම සටහන් විය. කෙසේ වෙතත්, දෙවැනි අර්ධයේ අතිරේක කාලයේ පළමු විනාඩියේදීම ෆෙරාන් ටොරස්ගෙන් ලැබුණු පන්දුව සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමට මයිකල් මෙරිනෝ සමත් විය. පෘතුගාල කණ්ඩායම සතුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, බෲනෝ ෆර්නැන්ඩස් සහ ජාඕ ෆීලික්ස් වැනි ප්‍රබල ප්‍රහාරකයන් සිටියද, මෙවර තරගාවලියේදී ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් ලබා නොදී ස්පාඤ්ඤය පිට පිටම අවසන් කළ පස්වැනි තරගය මෙය විය. නියමිත විනාඩි 90 පුරාම දෙපිලටම ගෝල වාර්තා කිරීමට ඉඩ නොතබමින් ස්පාඤ්ඤයේ උනායි සයිමන් සහ පෘතුගාලයේ ඩියාගෝ කොස්තා යන දැළ රකින්නන් දෙදෙනා දැක්වූ සුවිශේෂී දක්ෂතා මෙහිදී කැපී පෙනුණි.
මේ අතර, පසුගිය සඳුදා පැවැති අනෙක් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී මෙවර තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඇමරිකා එක්සත් ජනපදය ගෝල 4-1 ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට බෙල්ජියම සමත් විය. බෙල්ජියම වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩාවක නිරත වූ චාල්ස් ඩි’කෙටල්ලියර් තරගයේ 9 වැනි සහ 31 වැනි විනාඩිවලදී ගෝල දෙකක් වාර්තා කරමින් පළමු අර්ධය නිමාවන විට ගෝල 2-1 ක් ලෙස තම කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. අනතුරුව දෙවැනි අර්ධයේ 57 වැනි විනාඩියේදී හාන්ස් වැනකෙන් ලබාගත් ගෝලයෙන් බෙල්ජියම් ලකුණු තත්ත්වය 3-1 ක් ලෙස ඉහළ ගිය අතර, අතිරේක කාලය ආරම්භයේදීම රොමේලු ලුකාකු බෙල්ජියම වෙනුවෙන් සිවුවැනි ගෝලයත් වාර්තා කළේය. ඒ අනුව ඉදිරි අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤය සහ බෙල්ජියම එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතව ඇත.