කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටත්වීමේ මගී පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව M/s Maga Engineering (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් මගී ධාරිතාව පුළුල් කිරීම සහ පහසුකම් නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට නියමිත අතර, ඒ තුළ මගීන් පරීක්ෂා කිරීමේ නව කවුළු 36ක් ස්ථාපනය කිරීමට කටයුතු සූදානම් කර ඇත. මීට අමතරව, මගී පර්යන්තයේ සිට සෘජුවම ගුවන්යානා වෙත පිවිසීම සඳහා නව දොරටු හයක් (06) ද මේ යටතේ ඉදි කෙරේ. මෙම සමස්ත ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මුලින්ම 2025 පෙබරවාරි 09 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණි.
මේ සඳහා සුදුසුම කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව ලංසු කැඳවීම් සිදු කර ඇති අතර එහිදී ලංසු තුනක් (03) ලැබී තිබේ. එම ලංසු විධිමත් ලෙස ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු ලෙස Maga Engineering සමාගම තෝරාගෙන ඇත. ඒ අනුව, එකතු කළ අගය මත බදු රහිතව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.26ක මුදලක් සහ රුපියල් බිලියන 3.77ක මුදලක් යටතේ මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගම වෙත පැවරීමට රජය තීරණය කර තිබේ.