the-twenty-two-year-old-son-of-kalu-tushara-was-arrested-with-a-firearm

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ පළමු කැරැල්ලේදී ජීවිතක්ෂයට පත් වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කළු තුෂාර’ නමැත්තාගේ විසිදෙහැවිරිදි පුත්‍රයා ගිනි අවියක් ද සමඟ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෙලෙස පොලිස් භාරයට පත්ව ඇත්තේ මහරගම, දුම්රිය මාවතේ පිහිටි ඔහුගේ නිවසේදීය.




මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර සහ දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (40730) ධනුෂ්‍ය නිලධාරියාට ලැබුණු පෞද්ගලික තොරතුරකට අනුවය. ඒ අනුව සැකකරු පදිංචි නිවස පරික්ෂාවට ලක් කළ පොලිස් කණ්ඩායම, එහි තිබූ කාමරයක අල්මාරියක් තුළ සඟවා තිබූ අංකයක් හෝ නිෂ්පාදිත රටක් සඳහන් නොමැති වර්ගයේ .38 රිවොල්වර ගිනි අවියක් සොයා ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසා ඇත්තේ අදාළ ගිනි අවිය මියගිය තම පියාට අයත් එකක් බවයි. කෙසේ වෙතත්, සැකකරු විසින් ලබා දුන් මෙම ප්‍රකාශයේ සත්‍යතාව මෙන්ම මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන තිබේද යන්න අනාවරණය කරගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.




මීට වසරකට පමණ ඉහතදී ද ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට පත්ව සිටි මෙම සැකකරුට එරෙහිව මාතර අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි. එමෙන්ම මීට වසර කිහිපයකට පෙර ප්‍රකට අපරාධකරුවකු වන ‘මධුෂ්’ නමැත්තා සමඟ ඩුබායි රාජ්‍යයේදී මොහු සහ ඔහුගේ මව ඇතුළු පිරිසක් එරට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබූ අය වෙති. අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.