ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද (10) අලුයම අභාවප්‍රාප්ත වූවාය. කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති අතර, මියයන විට ඇය 68 වන වියෙහි පසු වූවාය.ඇගේ ඉල්ලීමට අනුව අවසන් කටයුතු පැය 24ක් ඇතුලත සිදු කිරීමට නියමිත බව මුලින් වාර්තාවී තිබුණද එම තීරණය පවුලේ ඥතීන් විසින් වෙනස්කර ඇත්තේ ප්‍රායෝගික කරුණු කිහිපයක් මුල් කරගෙනය.
අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සවස 5.00 ට සිදු කිරීමට නියමිතව ඇත. එදිනම උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ල බානි රේමන්ඩ් අවමංගල ශාලාවේ දේහය තැන්පත් කර තැබීමට කටයුතු යොදා ඇති අතර, එහිදී හිතවතුන්ට සහ රසික ජනතාවට ඇයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව හිමි වේ.
බටහිර ආරේ වේග රිද්ම ගායන විලාසයක් ඔස්සේ දේශීය කලා ලොව හැඩකළ ඇය, දශක ගණනාවක් පුරා රසික හදවත් ආමන්ත්‍රණය කිරීමට සමත් වූ විශිෂ්ට කලාකාරිනියකි. ඇය විසින් ගායනා කරන ලද “කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “කුමරාණනේ” සහ “යොවුන් සීන ලෝකේ” වැනි නිර්මාණ මෙරට ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් විය.