මාවනැල්ල, ගැඩබ්බ කන්දහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් බෙල්ලට පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ පුවතක් පසුගිය 29 වනදා රාත්‍රියේ වාර්තා විය. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රන්කොත්ගේ අමිල ප්‍රදීප් දිල්ෂාන් ජයරත්න නැමැති 42 හැවිරිදි තිදරු පියෙකි.
මාවනැල්ල පොලිසිය මඟින් මේ පිළිබඳ මූලික විමර්ශන ආරම්භ කර ඇත.පොලිස් පරීක්ෂණවලට අනුව, මියගිය පුද්ගලයා ගල්අතර ප්‍රදේශයේ සිට සිය මහගෙදර බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇත. නිවසට මීටර් 150ක් පමණ ආසන්න වෙත්ම, ඔහු තමා හොඳින් හඳුනන කාන්තාවක හමුවී රාත්‍රී 8.45ට පමණ මාර්ගයේ පාළු ස්ථානයක කතාබහ කරමින් සිට තිබේ. එම අවස්ථාවේදී එතැනට කඩාවැදුණු සැකකරු විසින් මෙම තිදරු පියාට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත. කැපුම් තුවාල සහිතවම තම මහගෙදර ආසන්නයට පැමිණි ඔහු මාර්ගය මත ඇද වැටී ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව වහාම රෝහල වෙත රැගෙන යාමට උත්සාහ කළද ඒ වන විටත් ඔහු අවසන් හුස්ම හෙළා තිබුණි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරුගේ බිරිඳ අතර කාලයක සිට පැවති සමීප සබඳතාවක් මුල් කරගනිමින් ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
අපරාධය සිදුවූ ස්ථානයේ තිබී විශාල ලේ පැල්ලම් කිහිපයක්, පාවහන් යුගලක්, යතුරුපැදියක් සහ හෙල්මට් එකක් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ. ඊට අමතරව, ඝාතනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන, මිට දෙකට කැඩී ගිය සුදු යකඩ පිහියක්ද එම ස්ථානයේ තිබී හමුවී ඇත. මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිෂේදා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී. ඉන් අනතුරුව මියගිය අයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සිරුර කෑගල්ල මහරෝහල වෙත රැගෙන යන ලෙස ඇය පොලිසියට නියෝග කළාය. කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිමඬුවගේ සහ පොලිස් පරීක්ෂක තිලකරත්න යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකරනු ලබයි.