5-killed-due-to-wild-elephant-attacks

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අපරාධ සහ වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉතිමලේ, විජයපුර ප්‍රදේශයේ සිදු වූ වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකු සහ හේන් වගාකරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඉතිමලේ කොටිගල පදිංචි දෙදරු පියෙකු වූ 42 හැවිරිදි සිවිල් ආරක්ෂක කොස්තාපල් ඩී.එම්. සුගත් නයනන්ද සහ විජයපුර පදිංචි 47 හැවිරිදි ලියනගේ රංජිත් ශාන්ත නමැති ගොවි මහතාය.




තම හේන් වගාව වෙත ගමන් කරමින් සිටි රංජිත් ශාන්ත මහතාට වගාබිමට කඩා වැදුණු වන අලියෙකු පහර දී ඝාතනය කර ඇත. මෙම පුවත සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් වන අලි රංචුව නැවත වනාන්තරය දෙසට පලවා හැරීමේ මෙහෙයුමක නිරතව සිටියදී, වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක කොස්තාපල් නයනන්ද මහතාද එම අලියාගේම ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්විය.

ගම්වැදී සිටින වන අලීන් පලවා හැරීමට බලධාරීන් අපොහොසත් වූ බවට චෝදනා කරමින් කෝපයට පත් ගම්වාසීන් පිරිසක් වනජීවී නිලධාරීන්ට පහර දී තිබේ. එම පහරදීමෙන් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් සිව්දෙනෙකු සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉතිමලේ පොලිස් ස්ථානාධිපති වසන්ත ආනන්ද මහතා සහ මොනරාගල වනජීවී කලාප භාර නිලධාරී හර්ෂ රුවන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.




මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ද වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගල මරණ තිදෙනෙකු වාර්තා වී ඇත. යාපනය රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන සිය පුතු සමඟ ආපසු පැමිණෙමින් සිටි 52 හැවිරිදි යූසූෆ් අයුබ්ඛාන් නමැති අයෙකු කැකිරාව දුම්රිය ස්ථානය අසලදී වන අලියෙකුගේ පාගා දැමීමට ලක්ව මියගොස් ඇති අතර, සිද්ධිය වන අවස්ථාවේදී ඔහුගේ පුත්‍රයා දිවගොස් බේරීමට සමත්ව තිබේ.

තලාව ප්‍රදේශයේ පදිංචි සිය සොහොයුරියගේ සුවදුක් බලා ආපසු යමින් සිටි නුවරඑළිය, කෙටඹුමාව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ජේ.ජී. ශ්‍රියාලතා මහත්මියද වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත. එසේම ශ්‍රාවස්ථිපුර පදිංචි 48 හැවිරිදි කරුණාරත්න මුදියන්සේලාගේ දිසානායක බණ්ඩා නැමැති අය තම ගෙවත්තට පැමිණි තනිකඩ අලියෙකු පලවා හැරීමට උත්සාහ කිරිමේදී එම අලියා කළ පහරදීමකින් මියගොස් තිබේ.