ගෝලීය ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු නිර්මාණය කිරීමේ අරමුණින්, ඇමරිකානු සමාගමක් වන 'Uber' විසින් ජර්මානු සමාගමක් වන 'Delivery Hero' අත්පත් කර ගැනීම සඳහා ඩොලර් බිලියන 14.8 ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ. චීනයෙන් පිටත ලොව විශාලතම ආහාර බෙදාහැරීමේ සමූහය බිහිකිරීම මෙමගින් අපේක්ෂා කරන අතර, ඇමරිකානු සහ යුරෝපීය තරඟකරුවන් වන Just Eat සහ DoorDash හමුවේ සිය බලය තහවුරු කර ගැනීමට මෙය Uber සමාගමට මනා පිටිවහලක් වනු ඇත.
මෙම ගනුදෙනුව සම්පූර්ණ වීමත් සමඟම, රටවල් 99 ක් පුරා විහිදුණු දැවැන්ත ජාලයක් නිර්මාණය වන අතර, 2025 වසරේදී එහි ඒකාබද්ධ දළ වෙළඳ භාණ්ඩ වටිනාකම ඩොලර් බිලියන 236 ක් වනු ඇතැයි ගණනය කර ඇත. 'Delivery Hero' සමාගමේ කොටසක් සඳහා යුරෝ 41.50 ක මුදලක් ලබාදීමට Uber සමාගම යෝජනා කර ඇති අතර, එය බදාදා දිනයේ කොටස් වෙළඳපොළ වැසෙන විට පැවති අගයට වඩා සියයට 9 ක ඉහළ යාමකි. මෙම නව යෝජනාවත් සමඟ ෆ්‍රැන්ක්ෆර්ට් කොටස් වෙළඳපොලේ 'Delivery Hero' හි කොටස් මිල ද සියයට 5.7 කින් පමණ ඉහළ ගොස් තිබුණි.
දැනටමත් 'Delivery Hero' සමාගමේ ප්‍රධානතම කොටස්කරුවෙකු වන Uber සමාගම, මෙම අත්පත් කර ගැනීම සඳහා අවම වශයෙන් සියයට 50 කට වඩා එක් කොටසක් හෝ අනුමැතිය හිමිවිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත. එළඹෙන වසරේ දෙවන භාගය වන විට මෙම ගනුදෙනුව සම්පූර්ණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහිදී ඉදිරියේදී ඇතිවිය හැකි නියාමන ගැටළු අවම කරගැනීමේ පියවරක් ලෙස, රටවල් 14 ක ක්‍රියාත්මක වන තම ව්‍යාපාරයේ කොටසක් ඇමරිකානු ආයෝජන සමාගමක් වන SSW Partners වෙත යුරෝ බිලියන 1.4 කට විකිණීමට 'Delivery Hero' සමාගම එකඟ වී තිබේ. මීට අමතරව, එහි ප්‍රධාන කොටස්කරුවෙකු වන 'Prosus' සමාගම ද තමන් සතු සියයට 17 කට ආසන්න කොටස් ප්‍රමාණය විකිණීමට තීරණය කර ඇත.
මෙම අත්පත් කර ගැනීම හරහා යුරෝපය, මැදපෙරදිග, ආසියාව සහ ලතින් ඇමරිකාව තුළ Uber Eats ජාලය තවදුරටත් පුළුල් වනු ඇත. 2011 වසරේ බර්ලින් නුවරදී ආරම්භ කරන ලද 'Delivery Hero' සමාගම සතුව දැනට පවතින foodpanda, Talabat, Glovo සහ PedidosYa වැනි ප්‍රධාන සන්නාමයන් ද මේ හරහා Uber ජාලයට එක්වීමට නියමිතය. මෙම ගනුදෙනුව යටතේ 2031 වසර දක්වා ජර්මනිය තුළ යුරෝ බිලියන 2 ක් ආයෝජනය කිරීමටත්, අවම වශයෙන් 2029 වසර දක්වා 'Delivery Hero' හි බර්ලින් මූලස්ථානය සහ එහි සේවක මණ්ඩලය එලෙසම පවත්වාගෙන යාමටත් Uber සමාගම පොරොන්දු වී ඇත. පාරිභෝගිකයින් මෙන්ම කොටස්කරුවන් සඳහා ද දිගුකාලීන වටිනාකමක් එක් කිරීම මෙම ඒකාබද්ධ වීමේ ප්‍රධාන අරමුණ බව Uber හි ප්‍රධාන විධායක නිලධාරී දාරා ඛොස්රොව්ෂාහි මහතා පවසා තිබේ.