lawsuits-against-those-who-transplanted-nudes-into-real-people-using-musks-ai-platform

ඉලෝන් මස්ක්ගේ (Elon Musk) කෘත්‍රිම බුද්ධි සමාගමක් වන xAI ආයතනය, සිය කෘත්‍රිම බුද්ධි පද්ධතිය වන 'Grok' හරහා ලිංගිකමය 'deepfake' නිර්මාණ සිදු කළ පරිශීලකයෙකුට එරෙහිව නඩු පවරා තිබේ. කෘත්‍රිම බුද්ධි පද්ධතියක් අවභාවිත කරමින් නුසුදුසු සහ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමට එරෙහිව සමාගමක් විසින් සිය පරිශීලකයෙකුට එරෙහිව නීතිමය පියවර ගත් ප්‍රථම අවස්ථාවන්ගෙන් එකක් ලෙස මෙය සැලකේ.




මෙම නඩුවට මුහුණ දී සිටින්නේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන ටෙරී හාර්වුඩ් (Terry Harwood) නමැත්තෙකි. බාලවයස්කරුවන් ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාව මත ඔහුව මේ වසරේ පෙබරවාරි මාසයේදී ද අත්අඩංගුවට ගෙන තිබුණි. පසුගිය අඟහරුවාදා ටෙක්සාස් හි ෆෙඩරල් අධිකරණයක ගොනු කරන ලද මෙම නඩුවට අනුව, සමාගමේ සේවා කොන්දේසි උල්ලංඝනය කරමින් ඔහු විසින් වැඩිහිටියන්ගේ සහ බාලවයස්කරුවන්ගේ සාමාන්‍ය ඡායාරූප Grok පද්ධතිය වෙත ලබා දී, ඒවා යොදාගෙන අදාළ පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව අසභ්‍ය දර්ශන සහ ළමා අපයෝජන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට උත්සාහ කර ඇත.

පරිශීලකයින්ට අනවසර ලිංගික 'deepfake' හෙවත් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් යථාර්ථවාදී ලෙස පෙනෙන ව්‍යාජ වීඩියෝ නිර්මාණය කිරීමට Grok පද්ධතිය පහසුකම් සපයන බවට xAI සමාගමට එල්ල වී තිබූ දැඩි ගෝලීය විවේචන මධ්‍යයේ මෙම නඩු පැවරීම සිදු වී තිබේ. පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට, විත්තිකරුගේ මෙම ක්‍රියාවන් සමාගමේ කෘත්‍රිම බුද්ධි මෙවලම සාපරාධී අරමුණු සඳහා ආයුධයක් ලෙස භාවිතා කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් වන අතර, එමගින් සැබෑ වින්දිතයින්ට දැඩි හානියක් සිදුවනවා පමණක් නොව සමාගමට ද නීතිමය සහ කීර්තිනාමයට අදාළ දැඩි අවදානම් මතු කරයි.




මෙම නඩුව හරහා xAI සමාගම අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ හාර්වුඩ්ට එරෙහිව නිශ්චිතව ප්‍රකාශ නොකළ මූල්‍යමය වන්දියක් ලබා දෙන ලෙසත්, ඔහුට Grok භාවිතය ස්ථිරවම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. තම නීතිරීති කඩකරන්නන්ට එරෙහිව ගිණුම් අත්හිටුවීම සහ නීතිමය ආයතන වෙත වාර්තා කිරීම හරහා දැඩි පියවර ගන්නා බව පවසන සමාගම, 2026 වසරේදී පමණක් ගිණුම් 52,222ක් අත්හිටුවා අතුරුදහන් වූ සහ අපයෝජනයට ලක්වූ දරුවන් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCMEC) වෙත පැමිණිලි 73,604ක් ඉදිරිපත් කර ඇති බවත්, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 244 දෙනෙකුවත් අත්අඩංගුවට ගෙන ඇති බවත් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, බදාදා දිනය වන විට මේ පිළිබඳව අදහස් දැක්වීම සඳහා හාර්වුඩ් සම්බන්ධ කර ගැනීමට හෝ xAI සමාගමේ ප්‍රකාශකයින්ගෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට රොයිටර්ස් (Reuters) පුවත් සේවයට හැකි වී නොතිබුණි.