මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිඛිත පරීක්ෂණයට හා ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී නොසිට නීතිවිරෝධි අන්දමින් රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන බව හලාවත පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල චන්දන මහතා පවසයි.
21 වැනි දින උදෑසන හලාවත බණ්ඩරවත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පසු මෙම වංචනික ක්‍රියාව හෙළිදරවු කර ගැනීමට සමත්ව ඇත.
කොළඹ සිට හලාවත දක්වා ගමන් ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් එම දිශාවට ගමන් ගත් පාපැදියක් අනතුරට ලක්කර ඇති අතර, එම ලොරි රථය පදවා ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකි. අනතුරෙන් බරපතළ තුවාල ලබා පාපැදිකරු හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ. ලොරි රථයේ රියැදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
අනතුරුව ලොරි රථය පැදවූ අයගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කර බැලීමේදී සැක පහළ කළ පොලිස් නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී එම බලපත්‍රය ලබා ගෙන ඇත්තේ නීතිවිරෝධි ලෙස බව හෙළිවී ඇත.
තමා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටි බවත්, එම පරීක්ෂණය අසමත් වූ නිසා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාව තදින්ම තිබූ නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ යැයි පැවසෙන පුද්ගලයෙකුගෙන් කිසිදු පරීක්ෂණයකට නොසිට රුපියල් 35,000ක් ලබාදී රියැදුරු බලපත්‍රයක් ලබාගත් බව සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළිදරවු වී ඇත.
එම මුදල රුපියල් 10,000ක් හා රුපියල් 25,000 ලෙස අවස්ථා දෙකකදී ලබාදීමට කටයුතු කළ බවද අත්අඩංගුවට පත් රියැදුරු පවසා ඇත.
සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනතුරට පත්ව ඇත්තේ කුරිය සමාගමට අයත් ලොරි රථයක් බවත්, සැකකාර තරුණයා ලොරි රථයේ සේවයට ගොස් ඇත්තේ මීට සති කිහිපයකට පෙරය. අත්අඩංගුවට පත් රියැදුරු හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හලාවත පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල චන්දන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන (100711) වෛද්‍යරත්න, (9100) ප්‍රසාද් යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළේය.