harsha-escapes-from-the-danger-of-high-speed-by-rope

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී මුහුණ පෑ හදිසි අනතුරුදායක අවස්ථාවකදී කඩිනමින් ක්‍රියාත්මක වූ 1969 මාර්ගස්ථ හදිසි සහයක කණ්ඩායමේ විශිෂ්ට සේවාව අගය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය කෘතඥතාව පළ කර තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පසුගිය 20 වැනිදා සන්ධ්‍යා භාගයේ තම බිරිඳ සමඟ ගමන් කරමින් සිටියදී මෙම බියජනක අත්දැකීමට මුහුණ දීමට සිදු වූ බවයි.




පැයට කිලෝමීටර 100ක පමණ අධික වේගයකින් ධාවනය වෙමින් තිබූ රථයේ පිටුපස රෝදයක හදිසියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් තමන් නූලෙන් බේරුණු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. මෙම අවස්ථාවේදී 1969 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කළ එකම දැනුම් දීමකින් පසුව, මිනිත්තු කිහිපයක් ඇතුළත එම ස්ථානයට ළඟා වූ සහයක කණ්ඩායම අදාළ ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගෙන ඇත.

එම කණ්ඩායමේ වෘත්තීයභාවය සහ කරුණාපූර්වක සේවාව විශේෂයෙන් ඇගයීමට ලක් කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, රෝදය මාරු කිරීම ඔවුන්ගේ නිල වගකීමක් නොවන මට්ටමේ පැවතුණද තමාට ඒ සඳහා ඉඩ නොතබා එම කාර්යයද ඔවුන් විසින්ම සිදු කර දුන් බව සටහන් කර තිබේ. මෙම සිදුවීම පදනම් කරගනිමින්, අධිවේගී මාර්ගවල ගමන් කිරීමට ප්‍රථම තම වාහනවල රෝදවල තත්ත්වය පිළිබඳව පූර්ව පරික්ෂාවක නිරත වන ලෙස හෙතෙම සසුන් රියැදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.