මාතර නාවිමන ප්‍රදේශයේ නිවසක මිදුලේ සෙල්ලම් කරමින් සිටි පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඩැහැගෙන යාමට තැත් කළ විශාල ප්‍රමාණයේ උකුස්සෙකුගෙන් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට පියා සහ අසල්වාසීන් සමත්ව තිබේ. පසුගිය 20 වනදා සිදු වූ මෙම අනපේක්ෂිත සිදුවීමෙන් සීරීම් තුවාල ලබා සිටි එම පෙර පාසල් දරුවා වහාම මාතර මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
තම නිවෙසේ ගෙවත්තේ තනිව සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවා එක්වරම නැගූ විලාපය ඇසී වහා එළියට පැමිණි පියාට දැකගත හැකි වී ඇත්තේ අතිවිශාල උකුස්සෙකු දරුවා ඩැහැගෙන ඉහළට පියාසර කිරීමට සැරසෙන ආකාරයයි. එකෙණෙහිම ක්‍රියාත්මක වූ පියා, උකුස්සාට පහරදී දරුවා ග්‍රහණයෙන් මුදා ගැනීමට සමත්ව ඇති අතර, පසුව ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව දරුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, උකුස්සාගේ පහරදීම හමුවේ දරුවා දැඩි ලෙස කම්පනයට පත්ව සිටි බවයි. රෝහල් කාර්ය මණ්ඩලය විසින් මූලික ප්‍රතිකාර සහ ඖෂධ ලබා දීමෙන් පසුව දරුවා නැවත නිවස වෙත පිටත් කර හැරීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ දරුවාගේ සීයා පවසා සිටියේ, දරුවා කෑගසන ශබ්දයට පුතා එළියට පැන ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා පෙර පිනකට මෙන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බවයි. තම ජීවිත කාලය තුළ මෙතරම් විශාල උකුස්සෙකු දැක නොමැති බවත්, සිදු වූ සිදුවීමෙන් පසු දරුවා තවමත් දැඩි භීතියකින් සහ උණ තත්ත්වයකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.