the-driver-of-akuregoda-lawyers-murder-sihina-came-from-maldives-and-spread-the-information

බත්තරමුල්ල, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසල් රථ ගාලකදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් තිබේ. පසුගිය ජූලි 4 වැනිදා මෙලෙස කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට රැගෙන එනු ලැබුවේ 26 හැවිරිදි වියේ පසුවන, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි "සිහින" නමැති තරුණයෙකි.

මොහු දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන "කරන්දෙණියේ සුද්දා" නමැත්තාගේ සමීපතම සගයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ. එහිදී සැකකාර තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා දින තුනක, එනම් පැය 72 ක කාලයක රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත. පසුගිය පෙබරවාරි මස 13 වැනිදා සිදු වූ මෙම ද්විත්ව ඝාතනය සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තරුණයා විවිධ අන්දමින් උපකාර කර ඇති ආකාරය පිළිබඳව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

විමර්ශන නිලධාරීන් පවසන පරිදි, නීතිඥ බුද්ධික ගයාන් මල්ලව ආරච්චි (44) සහ ඔහුගේ බිරිඳ වන වෙලාල ආරච්චිගේ නිසංසලා (42) යන අඹුසැමි යුවළ වෙඩි තබා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කරන්දෙණියේ සුද්දා විසිනි. එම සැලසුමට අනුව ක්‍රියාත්මක වූ "සිහින" නමැති මෙම සැකකරු, ඝාතනය සඳහා පැමිණි පාතාල වෙඩික්කරුවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ හෝටලයකට මෝටර් රථයකින් රැගෙන ඒමටත්, ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීමටත් කටයුතු කර තිබේ. එමෙන්ම අකුරේගොඩ සුපිරි වෙළෙඳසල වෙත වෙඩික්කරුවන් රැගෙන යාම සඳහා රුපියල් ලක්ෂ තිහක (30) මුදලක් වැය කර මෝටර් රථයක් මිලදී ගෙන ඇත්තේද මොහු විසිනි. එම මෝටර් රථය අපරාධය සිදු වූ වකවානුවේදීම පොලිස් භාරයට ගැනීමට බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය සමත් වී තිබිණි.




ඝාතනය සිදු කිරීමෙන් පසු වෙඩික්කරුවන්ට ආරක්ෂිතව පලා යාම සඳහා රුපියල් ලක්ෂ හතළිහක (40) මුදලක් වැය කරමින් බස් රථයක් මිලදී ගෙන දී ඇත්තේද මෙම සැකකරු බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම වාහන මිලදී ගැනීම් ඇතුළු සියලුම මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඩුබායි හි සිටින පාතාල නායකයා විසින් මොහු වෙත එවා ඇති බව හෙළි වී ඇත. අපරාධය සිදු වී දින හතරකට පසු, එනම් පෙබරවාරි 17 වැනිදා සැකකරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 404 දරන ගුවන් යානයෙන් බැංකොක් නුවර බලා පලා ගොස් තිබේ. එතැන් සිට තායිලන්තය, මැලේසියාව සහ ඩුබායි වැනි රටවල් කිහිපයක සැඟව සිටි ඔහු අවසානයේ මාලදිවයිනට පැමිණ ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් බලධාරීන් විසින් ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ කල්තියා දැනුවත් කිරීම් හේතුවෙන්, ඔහු නැවත වරක් ඩුබායි බලා යාම සඳහා මාලදිවයින ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී එරට ආගමන විගමන බලධාරීන්ගේ සැකයට බඳුන් වී අත්අඩංගුවට පත්විය. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා ගොස් සැකකරු මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති අතර මේ වන විට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

gossiplanka image