
හැඳල පල්ලියවත්ත ප්‍රදේශයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේ පැවැති උපන්දින සාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ මහමොළකාරිය ලෙස සැලකෙන කාන්තාවක ඇතුළු දෙදෙනෙකු 'අයිස්' මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.
ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින 'සුදු මල්ලී' සහ 'ප්‍රියංකර' නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපදෙස් මත 'කුඩු රොෂාන්' නමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඉලක්කගත 'කුඩු රොෂාන්' නමැත්තා දිවි බේරාගෙන පලාගොස් ඇති අතර, ඔහුගේ සගයකු බව කියන ඔහේස් ඔදුශංක හෙඬක් සුමේද නොහොත් මධුශංක නමැති පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙම ඝාතන තැත ක්‍රියාත්මක කර ඇත්තේ ඩුබායි හි සිටින 'කුඩු රොෂාන්'ගේ සොහොයුරා විසින් රුපියල් 75,000ක මුදලක් ගෙවා වෙන්කරගෙන තිබූ, ඔහුගේ තෙවසරක් වයසැති දියණියගේ උපන්දින සාදය පැවැති උත්සව ශාලාවේදීය. සාදයට පැමිණි අමුත්තකු ලෙස වෙස්වලාගෙන නර්තනයේ යෙදෙමින් පැමිණි වෙඩික්කරු 'කුඩු රොෂාන්' සිටි ස්ථානයට ආසන්න වී වෙඩි තබා ඇති අතර, ප්‍රහාරයෙන් දිවි ගලවාගත් 'කුඩු රොෂාන්' හෝටලයේ තාප්පයෙන් පැන පලාගොස් ඇති අතර ඔහු මෙතෙක් සොයා ගැනීමට හැකිවී නොමැත.
ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඩුබායි හි සිටින ජාවාරම්කරුවන් විසින් රුපියල් දෙලක්ෂ හැටදහසක පමණ මුදලක් ලබාදී ඇති අතර, සැකකාර කාන්තාවගේ ඉල්ලීම මත කඳාන ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබාගෙන ඇත. අත්අඩංගුවට පත් අනෙක් සැකකරු ලවා එම මෝටර් රථයෙන් කොළඹ ආමර් වීදිය ප්‍රදේශයට ගොස් වෙඩික්කරු කැඳවාගෙන විත් තිබේ. සිද්ධියෙන් පසු අතහැර දමා තිබූ අදාළ මෝටර් රථය සොයාගැනීමට පොලිසිය සමත් වූ අතර, එහි තිබී රිවෝල්වර අවියකට යොදන උණ්ඩයක් ද හමුවී ඇත.
මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට පත් පිරිමි සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව ඇප මත මුදාහැර සිටි අයකු වන අතර, සිද්ධියට සම්බන්ධ තවත් කාන්තාවක ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.