new-vc-of-japur-prof-upul-sukhasinghe

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සුඛසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ. වන විද්‍යා හා පාරිසරික කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ විද්වතකු වන ඒ මහතා, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලීන මෙහෙවරක් ඉටු කළ අයෙකි.




තමන් මූලික අධ්‍යාපනය ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ම ශාක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (B.Sc. Special in Botany) ප්‍රථම උපාධිය හිමිකර ගත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සුඛසිංහ මහතා, පසුව එක්සත් රාජධානියේ වේල්ස්හි බැංගෝර් විශ්වවිද්‍යාලයෙන් වන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (M.Sc.) සහ ආචාර්ය උපාධිය (Ph.D.) ලබා ගත්තේය. ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කටයුතු කරමින් පරිපාලනමය වශයෙන් පූර්වාදර්ශී මෙහෙවරක් ඉටු කර ඇත.

වන විද්‍යා හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඒ මහතාගේ පර්යේෂණ ක්ෂේත්‍ර අතරට වන කළමනාකරණය, පරිසර පද්ධති ආකෘතිකරණය, වන කාබන් සංචිත (Forest Carbon) සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය අයත් වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අගරපත ශාක (Gyrinops walla) සහ සඳුන් (Sandalwood) ශාක සම්බන්ධයෙන් පුරෝගාමී පර්යේෂණ රැසක් මෙහෙයවූ ප්‍රමුඛතම විද්‍යාඥයකු ලෙසද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සුඛසිංහ මහතා ඇගයීමට ලක්ව සිටියි.