
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඩෙංගු මදුරුවන් සහ මදුරු කීටයන් බෝවන ස්ථාන හඳුනාගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහනකදී, එම ප්‍රදේශයේ රාජ්‍ය අංශයේ ආයතනවලින් සියයට 50 කම ඩෙංගු මදුරුවන් සහ කීටයන් බෝවන ස්ථාන පවතින බව අනාවරණය වී තිබේ. පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.එච්.
ජගත් කුමාර මහතා මේ බව අනාවරණය කළේය.සාමාන්‍යයෙන් පාලනය කර ගත හැකි මට්ටමේ පවතින ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවල ප්‍රතිශතය සියයට 5 නොඉක්මවිය යුතු වුවද, මෙම ක්ෂේත්‍ර පරීක්ෂාවේදී රාජ්‍ය ආයතනවලින් සියයට 50 ක්ම මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව ප්‍රදේශයේ සුසාන භූමිවල සියයට 43.7 ක්ද, පාසල් පරිශ්‍රයන්හි සියයට 40 ක්ද, ආගමික ස්ථානවල සියයට 38.5 ක්ද වශයෙන් ඩෙංගු මදුරු තවාන් පවතින බව හෙළි වී තිබේ. එමෙන්ම පොදු ස්ථානවල සියයට 30 කද, පෞද්ගලික ස්ථානවල සියයට 17.3 කද සහ සාමාන්‍ය නිවාසවල සියයට 16.5 ක ප්‍රතිශතයකින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතින බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
මදුරු කීටයන් බෝවීමේ සාමාන්‍ය පාලන සීමාව සියයට 2 කට වඩා වැඩි නොවිය යුතු වුවද, පාදුක්ක ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල එම අගයද සියයට 50 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ක්ෂේත්‍ර වාර්තාවලට අනුව සුසාන භූමිවලින් සියයට 37.5 ක්ද, පොදු ස්ථානවලින් සියයට 21.7 ක්ද, ආගමික ස්ථානවලින් සියයට 16.6 ක් සහ පාසල්වලින් සියයට 13.3 ක් වශයෙන් මදුරු කීටයන් සහිත ස්ථාන හමු වී ඇත. නිවාස පරිශ්‍රයන් පරික්ෂා කිරීමේදී සියයට 5.9 ක සහ පෞද්ගලික ආයතනවලින් සියයට 5.6 ක ප්‍රතිශතයකින් මදුරු කීටයන් වාර්තා වී තිබේ.
රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුළ මෙලෙස සියයට 50 ක අධික ප්‍රතිශතයකින් මදුරුවන් සහ කීටයන් බෝවීම අතිශය අවදානම් සහගත තත්ත්වයක් වන බැවින්, ඒ පිළිබඳව අදාළ ආයතන ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව වෛද්‍ය ජගත් කුමාර මහතා අවධාරණය කළේය. පසුගිය මාස දෙකක කාලය තුළ පමණක් පාදුක්ක නගර සීමාවෙන් ඩෙංගු රෝගීන් 70 දෙනෙකු පමණ වාර්තා වී තිබීම මෙම අවදානමේ බරපතලකම කියා පාන්නකි.
නගරය තුළ මෙවැනි බරපතල තත්ත්වයක් මතු වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇතැම් පුද්ගලයන් විසින් මදුරුවන් බෝවන ස්ථාන නිසි ලෙස නඩත්තු නොකර ප්‍රශ්නකාරී ලෙස තබා ගැනීමයි. විශේෂයෙන්ම සමහර ගොඩනැගිලිවල කොන්ක්‍රීට් තට්ටු මත ජලය රැඳී තිබීම, රාජ්‍ය ආයතන සතු එළිමහන් අංගන සහ අතහැර දමා ඇති පාළු ගොඩනැගිලි ඩෙංගු මදුරු කීටයන් බෝවන ප්‍රධාන තවාන් බවට පත්ව ඇත. මේ වනවිට එම අවදානම් සහගත ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගෙන තිබුණද, ඉදිරියටත් ඩෙංගු ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා එම පරිශ්‍රයන් අඛණ්ඩව හා විධිමත්ව නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වේ.